හමුදාවේ හෙලිකොප්ටර්: 'මාධ්‍ය වරදවා වටහාගෙන'

Image copyright Sri Lanka Air force
Image caption නිල ගමන් සඳහා යොදාගත් යානා වෙනුවෙන් ගෙවීමක් අවශ්‍ය නොවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පවසයි

රාජකාරි ගමන් සඳහා ගුවන් හමුදාවේ යානා භාවිත කළ ඇමතිවරුන් හෝ නිලධාරීන් ඒ සඳහා ගෙවීම් කළ යුතු නැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

"රාජකාරි ගමන් සඳහා මුදල් ගෙවීමකින් තොරව ගුවන් හමුදාවේ ගුවන් යානා සහ හෙලිකොප්ටර් ලබාදුන් දේශපාලකයන් හා රජයේ නිලධාරීන්ගේ නම්" ලෙසින් බ්‍රහස්පතින්දා සභාගත කළ ලේඛණයක් ජනමාධ්‍ය වරදවා වටහාගෙන ඇති බවයි, රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේ.

එම ප්‍රකාශය පදනම් කරගෙන ජනමාධ්‍ය 'වැරදි පුවතක්' පළ කර තිබෙන බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා, සිය පවුලේ පාලනය යටතේ පවතින ඩේලි මිරර් පුවත්පතද දැඩි විවේචනයට ලක් කළේය.

"ප්‍රවෘත්ති වාර්තාකරණයේදී වඩාත් වෘත්තීයමය ලෙසින් ක්‍රියාකරන ලෙසත්, ටැබ්ලොයිඩ් මාධ්‍යකරණය අනුගමනය නොකරන ලෙසත් මම ඩේලි මිරර් පත්‍රයෙන් ඉල්ලා සිටිනවා," ඔහු පැවසීය.

'වැරදි පුවතක්'

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සහ රාජිත සේනාරත්න, ගයන්ත කරුණාතිලක, ජෝන් අමරතුංග, රාජිත සේනාරත්න, හරීන් ප්‍රනාන්දු, සාගල රත්නායක සහ ෆයිසර් මුස්තාෆා යන අමාත්‍යවරුන් සහ තවත් නිලධාරීන් පිරිසක් මුදල් ගෙවීමකින් තොරව ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා භාවිත කර ඇති බව ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.

Image caption 'රාජකාරි ගමන් සඳහා මුදල් ගෙවීමකින් තොරව ගුවන් හමුදාවේ ගුවන් යානා සහ හෙලිකොප්ටර් ලබාදුන් දේශපාලකයන් හා රජයේ නිලධාරීන්ගේ නම්' ලැයිස්තුව වැරදි ලෙස වටහාගෙන

එහෙත් එම පුවත නිවැරදි නොවන බවයි, රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සඳහන් කළේ.

"රාජකාරි ගමන් සඳහා මුදල් ගෙවීමකින් තොරව" ලෙසින් තමන් අදහස් කළේ මෙම රාජකාරි ගමන් වෙනුවෙන් ගුවන් හමුදාව මුදලක් අය නොකළේය යන්න බවත්, මාධ්‍ය එය වැරදි ලෙස වාර්තාගත කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

"ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් රාජකාරි සඳහා යනකොට මේ ඇමතිවරු ඔවුන් සමඟ රාජකාරි සඳහා ගිහින් තියෙනවා. ඒ නම් තමයි මේ ලැයිස්තුවට ඇවිල්ල තියෙන්නේ," ඔහු පැහැදිලි කළේය.

"එතුමාලගෙන් කිසිම මුදලක් අයකර ගන්න හෝ ගෙවීමක් කරන්නත් අවශ්‍ය නැහැ."