අමාත්‍ය දයාසිරි ජයසේකර
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ලකුණකට රුපියල් 56,000 ක් ගෙවලා - ක්‍රීඩා ඇමති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතැම් අසාර්ථක ක්‍රීඩකයන්ට ගෙවන මුදල දැනගතහොත් ඔවුන්ගේ කඩුල්ල දැවී පැමිණෙන විට ගල් ගැසීමට පවා ක්‍රීඩාලෝලීන් පෙළඹෙනු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

එබැවින් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට දක්ෂතා අනුව මුදල් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන ඇති තීරණය තමන් අනුමත කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

"එක ක්‍රීඩකයෙක් ඉන්නවා ඔහුගේ ගිය අවුරුද්දේ ආදායම රුපියල් මිලියන 57යි. ගහපු ලකුණු ගාන බැලුවහම එක ලකුණකට ක්‍රිකට් ආයතනය රුපියල් 56,000ක් ගෙවලා තියෙනවා," ඇමතිවරයා සඳහන් කළේ බීබීසී යේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

'ක්‍රීඩක මාෆියාවක්'

"තව කෙනෙක් ඉන්නවා රුපියල් මිලියන 73ක් උපයලා. ඔහුගේ ලකුණකට රුපියල් 26,000 ක් ගෙවනවා."

ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ට ගෙවන මුදල් ප්‍රමාණය අඩු කර, ලබාගන්නා ලකුණු සහ කඩුලු ප්‍රමාණය අනුව ඔවුන්ට ගෙවීම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යෝජනා කරයි.

නව යෝජනාව අනුව ක්‍රීඩකයන්ට අසාධාරණයක් සිදුවන්නේ නම් ක්‍රීඩකයන් වෙනුවෙන් පෙනී සිටීමට තමන් සූදානම් බවයි අමාත්‍යවරයා බීබීසී සංදේශයට කියා සිටියේ.

"සමහර ක්‍රීඩකයෝ ඉන්නවා ලකුණු ගහන්නෙත් නැහැ. හැබැයි හැමදාම මිලියන 50ක් 75ක් ගන්නවා. ක්‍රීඩකයෝ දැනගන්න ඕන දක්ෂතාවලට යන්න. නැත්නම් ඒගොල්ලොත් මේක ගණන් ගන්නේ නැහැ. ගැහුවත් නැතත් ගාන හම්බවෙනවා."

ජාතික කණ්ඩායමට අමතරව කොන්ත්‍රාත් ලබාදීමට තෝරාගෙන තිබෙන ක්‍රීඩකයන් පිළිබඳව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවත් ඔහු පැවසීය.

"ක්‍රිකට් පාලක මණ්ඩලයේත් ඉන්නේ ක්‍රීඩා සමාජ වල නියෝජිතයන්. ඔවුන් බලනවා ඒගොල්ලන්ගේ කණ්ඩායම් වල ක්‍රීඩකයන් මේකට වැඩියෙන් දාගන්න. මේක අතීතයේත් වුනා."

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනකුම මෙහෙයවන්නේ එක් කළමණාකරුවෙකු බව සඳහන් කළ අමාත්‍යවරයා, ඔහු සමග ගිවිසුම් අත්සන් කිරීමට එක් නවක ක්‍රීඩකයකු අකමැත්ත පළකිරීම හේතුවෙන් ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමි වූ බවත් වැඩිදුරටත් පැවසීය.

(ක්‍රීඩා ඇමතිවරයා සමඟ සාකච්ඡාව ඉහළ විඩියෝවෙන් නරඹන්න).