තායිලන්තයේ රාජාභිෂේකය 'වසරකින් පමාවේ'

Thailand's Crown Prince takes part in ceremony after the death of King Bhumibol, 15 October 2016 Image copyright Reuters
Image caption පියාගේ අභාවය පිළිබඳව ශෝකවීම පිණිස රාජාභිෂේකය වසරකින් පමා කරන ලෙස ඔටුන්න හිමි කුමරුගෙන් ඉල්ලීමක්

පිය රජතුමාගේ අභාවය සම්බන්ධයෙන් ශෝකවීම පිණිස සිය රාජාභිෂේකය වසරකින් පමා කරන ලෙස ඔටුන්න හිමි කුමරු ඉල්ලීමක් කළ බව තායිලන්තයේ ආණ්ඩුව පවසයි.

පසුගිය බ්‍රහස්පතින්දා දැයෙන් සමුගත් භූමිපාල් අතුල්තේජ් රජතුමා වෙනුවෙන් ශෝකවීම පිණිස හැට හතර හැවිරිදි වජිරලෝන්කෝන් කුමරුට තවත් කාලය අවශ්‍ය බවයි, ආණ්ඩුවේ නිලධාරීන් පවසන්නේ.

නව රජතුමා පදවිප්‍රාප්ත වන තුරු, අනූ හය හැවිරිදි හිටපු අගමැති ප්‍රේම් තින්සුලනන්ද තාවකාලිකව පදවියේ බලතල හොබවයි. ඔහු අභාවප්‍රාප්ත භූමිපාල් රජතුමාගේ සමීප උපදේශකයකු විය.

රාජාභිෂේකයේ ප්‍රමාදය පිළිබඳව කිසිදු සැකයක් ඇතිකර නොගන්නැයි අගමැති, ජනරාල් ප්‍රයුත් චාන් ඔචා රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ඉල්ලීමක් කළේය.

ඔටුන්න හිමි වජිරලෝන්කෝන් කුමරු, හිටපු අගමැති ප්‍රේම් තින්සුලනන්ද සහ තමන් කැඳවා මේ තත්වය පැහැදිලි කළ බවත් හමුදා පාලක ජනරාල් ප්‍රයුත් එහිදී සඳහන් කළේය.

Image caption තායිලන්ත රජ පවුල

"මේ මොහොතේ හැමදෙනාම ශෝකයෙන් ඉන්න බව කුමරු කියා සිටියා. ඔහුත් ශෝකයෙන් ඉන්නේ. ඒ නිසා මේ ශෝක කාලය ගෙවෙන තුරු අපි හැමදෙනාම ඉවසීමෙන් සිටිය යුතුයි," ජනරාල්වරයා පැවසීය.

ඔටුන්න හිමි වජිරලෝන්කෝන් කුමරු, තායිලන්තයේ නව රජතුමා බව හමුදා ආණ්ඩුව දැනටමත් සනාත කර තිබෙන බවයි, බැංකොක් නුවර සිටින බීබීසී වාර්තාකරු ජොනතන් හෙඩ් පවසන්නේ.

තායිලන්තයේ හමුදාව සාම්ප්‍රදායිකව රජ පවුලට ප්‍රබල පක්ෂපාතීත්වයක් දක්වයි.

සබැඳි විෂයයන්