මෝසුල් වැසියෝ සිරියාවට පලා යති

  • 2016 ඔක්තෝබර් 19
Image copyright AFP
Image caption ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායම ප්‍රබලව ක්‍රියාත්මකවන ඔවුන්ගේ අවසාන ප්‍රධාන බලප්‍රදේශය වන්නේ මෝසුල් නගරයයි

නවසියයකට වැඩි සාමාන්‍ය වැසියන් පිරිසක් සටන් පවතින මෝසුල් නගරයේ සිට දේශසීමාව හරහා සිරියාවට පලා ගොස් ඇතිබව සරණාගතයන් පිලිබඳ පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනය පවසයි.

මෙය, ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර රටවල හමුදාවන්ගේ සහය ලබන ඉරාක හමුදා, ඉස්ලාම්රාජ්‍ය කණ්ඩායමෙන් මොසුල් නගරය මුදා ගැනීම සඳහා සඳුදා ආරම්භ කළ මෙහෙයුම්වලින් පසු එපමණ විශාල සංඛ්‍යාවක ජනතාවක් නගරයෙන් පලා ආ බවට සනාථ වූ පළමු අවස්ථාවය.

ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායම ප්‍රබලව ක්‍රියාත්මකවන ඔවුන්ගේ අවසාන ප්‍රධාන බලප්‍රදේශය මෝසුල් නගරය වන අතර වසර දෙකකට වැඩි කාලයක සිට එය ඔවුන් සතුව පවතී.

තෙවැනි දිනය වනවිට නගරය අත්පත්කර ගැනීම සඳහා ක්‍රියාත්මකවන මෙහෙයුම් තරමක මන්දගාමී බවක් පෙන්වන බව වාර්තාවේ.

ඉරාක හමුදා ඉදිරියට ඇදෙමින් සිටි දකුණු ප්‍රදේශය සාමාන්‍ය වැසියන් විශාල වශයෙන් ජීවත්වන ගම්මානවලින් යුක්ත වන අතර උතුරු සහ නැගෙනහිරින් සටන් වදින කුර්දිෂ් පෙෂ්මර්ගා හමුදා දැනටමත් අත්පත් කරගෙන ඇති ප්‍රදේශවල බලය තහවුරු කරගනිමින් සිටින බව පැවසේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර