පැහැරගත් ඇෆ්ගන් ජාතිකයන් තිස් දෙනෙකු ඝාතනය කෙරෙයි

Image copyright AP
Image caption 2015 වසරේ සිට ඇෆ්ගනිස්ථානය තුළ තාලිබාන් සංවිධානය සහ ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායම් අතර නිරතුරුව සටන් පවතී

ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට සම්බන්ධ සන්නද්ධකරුවන් පිරිසක් විසින් පැහැරගෙන යනු ලැබූ ඇෆ්ගනිස්ථානයේ ඝෝර් පළාතේ පුද්ගලයන් තිස් දෙනෙකු ඝාතනය කර ඇති බව එරට බලධාරීහු පවසති.

කඳුකර ප්‍රදේශයේ දර එකතුකරමින් සිටි සාමාන්‍ය වැසියන් සහ රංචු දෙකකට අයත් බැටළුවන් මෙසේ පැහැරගෙන ගොස් තිබුණි.

පැහැරගත් පිරිස බේරා ගැනීම සඳහා පොලීසිය සිදුකළ මෙහෙයුමක දී ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායමේ නායකයෙකු මරණයට පත්වී ඇති අතර එයට පලිගැනීමක් ලෙස සාමාන්‍ය වැසියන් ඝාතනය කර ඇති බව ඝෝර් පළාත් ආණ්ඩුකාරවරයා බීබීසීයට පැවසීය.

ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායම ඇෆ්ගනිස්ථානය තුළ වර්ධනය වෙමින් පවතින අතර තාලිබාන් සංවිධානයට අභියෝගයක් වෙමින් පවතී.

මියගිය සාමාන්‍ය වැසියන් අතර ළමුන් ද සිටින බව ආණ්ඩුකාර ඛාශේ පැවසීය.

2015 වසරේ සිට ඇෆ්ගනිස්ථානය තුළ තාලිබාන් සංවිධානය සහ ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායම් අතර නිරතුරුව සටන් පැවතුණි.

තාලිබාන් සංවිධානය බලය පතුරුවාගෙන සිටින කළාපයේ තවත් දේශීය හා විදේශීය සන්නද්ධ කණ්ඩායම් රැසක් ක්‍රියාත්මකව පවතින අතර ඔවුනට ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායමේ බරපතල අභියෝගවලට මුහුණදීමට සිදුව ඇත.

ඒ සමගම තාලිබාන් නායකයන් කිහිපදෙනෙකු ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායම සමග සන්ධානගතව සිටින හෙයින් ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායම තාලිබාන් සන්නද්ධකරුවන් බඳවාගැනීමේ යෙදී සිටින බව ද වාර්තාවේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්