'මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රවේශම් වෙන්න'

Image caption සිය පාර්ලිමේන්තු සගයන්ගෙන් හිරිහැර එල්ල වෙන බව බොහෝ මන්ත්‍රීවරියෝ පවසති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මන්ත්‍රීවරියන් ලිංගික අඩන්තේට්ටම්වලට ගොදුරු කරගනු ගැනීම විශාල ලෙස ඉහළ ගොස් ඇති බව අන්තර් පාර්ලිමේන්තු සංගමය පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජගත් සංවිධානයවන අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) ඉහත සඳහන් නිගමනය ඇතුළත් නව වාර්තාවක් නිකුත් කරනු ලැබ තිබෙන්නේ අප්‍රිකාව,ආසියාව,යුරෝපය,ඇමෙරිකානු කලාපය සහ අරාබි රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ය.

අදාළ රටවල කාන්තා නියෝජිතවරියන් පනස්පස් දෙනකුගෙන් කරුණු විමසූ බව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) වාර්තාව පවසයි.

එම සාකච්ඡා සඳහා සහභාගී කරගත් මන්ත්‍රීවරියන් අතරින් 80% ට අධික පිරිසක්, තමන් මන්ත්‍රීවරුන්ගේ මානසික හෝ ලිංගික අතවරවලට එසේත් නැතිනම්, ඇතැම් අවස්ථාවන්හි ප්‍රචණ්ඩත්වයට පවා ලක් වූ බව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) නියෝජිතයන්ට ප්‍රකාශ කර ඇත.

සිය පාර්ලිමේන්තු සගයන්වන මන්ත්‍රීවරුන්ගෙන් එල්ලවන 'නුසුදුසු වචනවලට' මන්ත්‍රීවරියන් ගොදුරුවීම සුලභ කාරණයක් වී ඇති බව ද අදාළ වාර්තාව පෙන්වාදෙයි.

එවැනි තත්ත්වයක් තුළ කාන්තා නියෝජිතයන්ට ඔවුන්ට පැවරෙන පාර්ලිමේන්තු කාර්යභාරය නිසි පරිදි ඉටුකිරීම දුෂ්කරවන බව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) මහලේකම් මාර්ටින් චුන්ගොන් (Martin Chungong )බීබීසි සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී කියා සිටියේය.