තුර්කියේ දස දහසකගේ වැඩ තහනම්

Image caption තුර්කියේ දැඩි ආරක්‍ෂාව

තුර්කියේ සිදු වූ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැක පිට තවත් සිවිල් සේවකයන් දස දහසකගේ වැඩ තහනම් කිරීමට තුර්කි බලධාරීහු පියවර ගත්හ.

ඊට අමතරව තවත් මාධ්‍ය ආයතන පහළොවක් වසා දමන ලදී.

ඉන් බහුතරය කුර්දි හිතවාදී මාධ්‍ය ආයතන යි.

මෙම පියවර ගෙන ඇත්තේ ඊයේ (ඔක්.29) හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවයි.

Image caption කුමන්ත්‍රණකරුවන්ට දඬුවම්

ඒ අනුව කුමන්ත්‍රණයෙන් පසුව වසා දමන ලද මාධ්‍ය ආයතන සංඛ්‍යාවේ එකතුව එකසිය හැට දක්වා ඉහල ගොස් තිබේ.

තුර්කි ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීම සඳහා පසුගිය ජූලි මස ඇති වූ අසාර්ථක කුමන්ත්‍රණයෙන් පසු මේ දක්වා වැඩ තහනම් කළ සිවිල් සේවකයන් ගේ ගණන ලක්ෂයකට අධිකයි.

එක්සත් ජනපදයේ වෙසෙන තුර්කි ජාතික පූජකවරයකු වන ෆෙතුල්ලා ගුලන් කුමන්ත්‍රණය පිටුපස සිටින බවට තුර්කි ආණ්ඩුව පවසන නමුත් පූජකවරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

තුර්කියේ හමුදා ගුවන් නියමුවන් හැත්තෑතුන් දෙනකු අත්අඩංගුවට ගැනීමට ද පසුගියදා එරට පොලිසිය පියවර ගෙන තිබේ.

Image caption කුමන්ත්‍රණයෙන් පසු අත්අඩංගුවට පත් හමුදා භටයන්

සන්නද්ධ කැරැල්ලට සහය වීම, ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සහ දැනට රටින් පිටුවහල් කර ඇති තුර්කි පූජක ෆෙතුල්ලාහ් ගුලාන් සමග සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් ගුවන් නියමුවන්ට එරෙහිව චෝදනා නැගී ඇත.

හමුදා කුමන්ත්‍රණය අසාර්ථක වූ දින සිට තුර්කියේ ජනාධිපති රෙසීප් තායිබ් එර්දොවාන්ගේ නියෝගය මත තුන්දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර