කිලෝ 600ක සුප් කල්දේරමක් විසි කළ මැලේසියානු කෝකියෝ

Image copyright Instagram/chefwan58
Image caption මෙම සුවිශාල 'ලක්සා' සුප් කල්දේරම පිළියෙළ කිරීමේ අරමුණ වූයේ මැලේසියාවේ වීදි වල අලෙවි වන ආහාර අතරින් ප්‍රමුඛස්ථානය දිනා ගැනීමයි.

මැලේසියාවේ ප්‍රසිද්ධම වීදි ආහාරය බවට පත් වීමේ වාර්තාව බිඳ හෙළීමෙන් අනතුරුව කිලෝ ග්‍රෑම් 600ක සුවිසල් 'සර්වක් ලක්සා' නූඩ්ල්ස් සුප් කල්දේරම ඉවත දැමීම සම්බන්ධයෙන් එය පිළියෙළ කළ සාප්පු සංකීර්ණයේ කළමනාකාරිත්වය සමාව ඉල්ලා තිබේ.

සාමාන්‍ය ප්‍රමාණයේ සුප් කෝප්ප එක්දහස් පන්සියයක් පිරවීමට ප්‍රමාණවත් තරම් සුප් පරිභෝජනය නොකොට ඉවත දැමීම සම්බන්ධයෙන් මැලේසියානු සමාජ මාධ්‍ය ජාලා තුළින් ජනතාව සිය කෝපය සහ විවේචන පළ කොට තිබුණි.

මැලේසියාවේ කුචින් හි පිහිටි 'මර්ඩේකා ප්ලාසා' කළමනාකාරිත්වය කියා සිටියේ ආහාර විෂ වීමේ අවදානමෙන් මිදී සිටීමට මෙම පියවර ගත් බවය.

කෙසේ වෙතත් මෙම තීරණය හේතුවෙන් සිදු වූ ආහාර අපතේ යාම සම්බන්ධයෙන් සැලකිලිමත් නොවීම අභාග්‍යයක් බව ඔවුහු වැඩි දුරටත් කියා සිටිති.

'සර්වක් ලක්සා' කල්දේරම පිළියෙළ කිරීම සඳහා කෝකියන් පහළොස් දෙනෙකු පැය දහ අටක කාලයක් මුළුල්ලේ ආහාර පිසීමේ යෙදුනු බව වාර්තා වේ.

Image caption 'සර්වක් ලක්සා' සුප් කල්දේරම පිළියෙළ කිරීම සඳහා කෝකියන් විසින් භාවිතා කරනු ලැබූ අමුද්‍රව්‍ය ලැයිස්තුව

මෙම විශේෂ සුප් වර්ගය ආහාරයට ගත යුත්තේ නිශ්ශිත උෂ්ණත්ව මට්ටමකදී බැව් පෙන්වා දෙන කොකියෝ කණ්ඩායම කියා සිටියේ විශාල කල්දේරමේ උෂ්ණත්වය නියමිත මට්ටමට ස්ථාවරව තබා ගැනීමේ අපහසුව මත මිනිස් පරිභෝජනය සඳහා එය සුදුසු නොවන බව තීරණය කිරීමට සිදු වූ බවය.

කෙසේ වෙතත් 'මර්ඩේකා ප්ලාසා' ෆේස්බුක් ගිණුමට ගලා ආ විශාල ප්‍රමාණයේ විවේචන සහ චෝදනා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව එලෙස ආහාර අපතේ දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් සමාව අයදිමින් ප්‍රකාශයක් නිකුත් කිරීමට එහි කළමනාකාරිත්වය පියවර ගත්හ.