ලිංගික අපයෝජකයින්ට අභියෝගයක් වූ වින්දිතයා

  • 2016 නොවැම්බර් 7
Illustration of child being filmed
Image caption ළමා අපයෝජනය දැක්වෙන ඡායාරූප නිෂ්පාදනය හෝ බෙදාහැරීම අපරාධයක් බව සඳහන් නීතියක් මේ වසරේ පාකිස්තානයේ සම්මත කෙරිණ

පාකිස්තානය තුළ මහා පරිමාණයෙන් ළමා ලිංගික අපයෝජන සිදු කෙරෙන බවට කරුණු හෙළිදරව් වුනේ 2015 වසරේදී ය.

එය පකිස්තාන සමාජය තුළ දැඩි කම්පනයක් ඇති කිරීමට හේතු විය.

සිය ගණනක් දරුවන් ලිංගික අපයෝජනයට ලක් කරන ආකාරය ජංගම දුරකථන ඔස්සේ පටිගත කොට තිබේ.

පාකිස්තානය තුළ එවැනි අපයෝජන වැඩි වශයෙන් වාර්තාවන ප්‍රදේශයකි හුසේන් ඛාන් වාලා නගරය.

එහි වෙසෙන දහනව හැවිරිදි තරුණයෙකු බීබීසී වෙත සිය අත්දැකීම විස්තර කළේය.

අපි ඔහු සලීම් නමින් හඳුන්වමු.

Image copyright AP
Image caption හුසේන් ඛාන් වාලා නගරයේදී අපයෝජනයට ලක් වූ තරුණයෙක්

"උදේ පාන්දර මම තනියම ඉස්කෝලේ වෙත යමින් සිටියේ. මිනිස්සු පිරිසක් මාව පැහැරගත්තා. ඉන් පස්සේ ගමේ කාමරේකට මාව ගෙන ගියා. ඒ සියලු දෙනා මාව ලිංගික අපයෝජනයට ලක් කළා. මාව අපයෝජනයට ලක් කරන ආකාරය ජංගම දුරකථනයෙන් පටිගත කළා. පස්සේ ඒ වීඩියෝ දර්ශන ප්‍රසිද්ධ කරනවා කියලා මගෙන් ප්‍රයෝජන ගන්න පටන් ගත්තා. ඒ ගැන කාටවත් කියන්න මම බය වුනා.මට ඒ ගැන කතා කරන්න තරම් ධෛර්යක් තිබුණේ නැහැ." යැයි ඔහු සිය අත්දැකීම විස්තර කළේය.

වසර ගණනාවක් අපයෝජකයින්ගෙන් එල්ලවූ තර්ජන දරගත නොහැකි වූ තැන සලීම් ගම අතහැර නගරයට සංක්‍රමණය විය.

'දිගටම තර්ජන'

"අවසානයේ මම ගම හැර දාලා නගරෙට ගියා. ජාත්‍යන්තර සමාගමක මට රැකියාවක් හමු වුනා. නමුත් මේ අපයෝජකයෝ මට තර්ජනය කරන ඒක නැවැත්තුවේ නැහැ. මාව අපයෝජනයට ලක් කරන ආකාරය දැක්වෙන වීඩියෝ එක අන්තර්ජාලයේ හෝ ගෑමේ ප්‍රසිද්ධ කරන එක නවත්වන්න මම මගේ පඩියෙන් වැඩි කොටසක් ඔවුන්ට දුන්නා. ඔවුන්ගෙන් කීප දෙනෙක් සමග කතාබහක් දුරදිග ගියාට පස්සේ ඔවුන් වීඩියෝ එක ගමේ සමහරක් අයට පෙන්නලා තිබ්බා.මගේ ලොකු අයියා තමයි පළමුවෙන්ම වීඩියෝ එක දැකලා තිබ්බේ."

සලීම්ට සිය වැඩිමහල් සහෝදරයාගෙන් ලැබුණේ සිතුවාට වඩා වෙනස් ආකාරයේ ප්‍රතිචාරයකි.

Image caption පාකිස්තානය තුළ මහා පරිමාණයෙන් සිදු වන ළමා ලිංගික අපයෝජනවලට එරෙහි උද්ඝෝෂණයක්

"අයියා මට දුරකතනයෙන් කතා කළා. මට කම්පනයක් ඇති වුනා. මම සියලු දේ ඔහුට පැහැදිලි කළා. මේ ගැන පියවරක් ගන්න අපි තීරණය කළා. අපි සැලසුමකට අනුව වැඩ කරන්න පටන් ගත්තා. කරුණු ගොනු කරන්න පටන් ගත්තා. මම ෆේස් බුක් එකෙන් මේ කල්ලියේ සාමාජිකයන්ගේ පින්තූර එකතු කළා. වීඩියෝ එකතු කරන්න පටන් ගත්තා., දරුවන් අපයෝජනයට ලක් කරන ආකාරය දැක්වෙන වීඩියෝ අනූ අටක් මායි අයියයි එකතු කළා." යැයි ඔහු පැවසීය.

සලීම් වෙනුවෙන් හඬ නැගීමට ඉදිරිපත්වූයේ ගමේ එක් අයෙකු පමණි.

'තර්ජනවලට එරෙහිව'

"මගේ අසල්වැසියා මොබීන් හැර ගමේ කිසිවෙක් මට උදව් කළේ නැහැ. ඔහු සමාජ සේවකයෙක්. ඔහු මේ දිහා ගැඹුරින් බැලුවා. ඔහු මට උදව් කළා. මායි මොබීනුයි එක් වෙලා අපයෝජනයට ලක් වූ අනෙක් අයට කතා කළා. ඔවුන්ට ඉදිරියට එන ලෙස එත්තු ගැන්නුවා. අපි ගමේ වැඩිහිටියෝ සහ පිළිගැනීමක් තියන පුද්ගලයෝ හමු වුනා. අපි පාර්ලිමේන්තුව ඉදිරියේ උද්ඝෝෂණ කළා." යැයි පැවසූ සලීම්,

"අපේ දරුවන්ට අත තියන්න එපා."

"නිශ්ශබ්දතාවය යනු වරදට හවුල් වීමක්"

"විපතට පත් වූවන් ලජ්ජා විය යුතු නැහැ"

යනාදිය එහිදී ප්‍රමුඛ සටන්පාඨ වූ බව කීය.

'අනාගතය ගැන බියක්'

"ක්‍රමයෙන් මේ පිළිබඳ මධ්‍යයේ අවධානය යොමු වුනා. අවසානයේ චෝදනා ලත් කීප දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. ළමුන් අපයෝජනය කරන ආකාරය දැක්වෙන වීඩියෝ දෙසිය පනහක් පමණ පොලිසිය විසින් සොයා ගනු ලැබුවා. ඒවායේ සිටි බොහෝ දෙනෙක් පාසල් දරුවන්. ඔවුන්ගේ පාසල් නිල ඇඳුම් පවා වීඩියෝවල දකින්න පුළුවන්. මේ මදාවියෝ අපට තවමත් තර්ජනය කරනවා. මගේ අසල්වැසියා මොබීන්ගේ නිවසට රාත්‍රියේ වෙඩි තියලා වැඩි දවසක් නැහැ. මිනිස්සු අතරේ ඕපාදුප කතා කෙරෙනවා. ඔවුන් කියනවා මේ දාමරිකයන්ට විරුද්ධව අපට මුකුත් කරන්න බැරි වෙයි කියලා." යනුවෙන් සිය ප්‍රයත්නය පිළිබඳව කතා කළ සලීම් සිය අමිහිරි අත්දැකීම තමාව ලුහුබැඳ එන අයුරු පැහැදිලි කළේ,

"මම රැකියාවකට අයදුම් කරන සෑම අවස්ථාවකම ඔවුන් මගේ ලියකියවිලි දෙස බලා කණගාටුව පළ කරනවා. මම හුසේන් ඛාන් වාලා ගම්වැසියෙක් බව ඔවුන් දන්නවා, ඇතැම් වෙලවාට මම මගේ අනාගතය ගැන කල්පනා කරනවා. මම විවාහ වුනාම මගේ බිරින්දට මේ දේවල් කියන්නේ කොහොමද?" යන කනස්සල්ල මුසු ස්වරයකිනි.

ළමා අපයෝජනය දැක්වෙන ඡායාරූප නිෂ්පාදනය හෝ බෙදාහැරීම අපරාධයක් යැයි සඳහන් නීතියක් මෙම වසරේදී (2016) පාකිස්තානයේ සම්මත කරනු ලැබිණ.

සලීම් අපයෝජනයට ලක් කිරීමට වරදකරුවන් වූ පුද්ගලයන් දෙදෙනකුට පසුගිය අප්‍රේල් මාසයේදී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි විය.

තවත් පුද්ගලයන් පහළොස් දෙනකුට එරෙහිව නඩු පවරා තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර