අල්ට්සයිමර්ස් ව්‍යාධිය කල්තබා හඳුනාගත හැකි නව තාක්ෂණයක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අල්ට්සයිමර්ස් ව්‍යාධිය හඳුනාගැනීමේ තවත් පියවරක්

අල්ට්සයිමර්ස් ව්‍යාධිය (Alzheimer's disease) කල්තබා හඳුනාගත හැකි නව තාක්ෂණයක් හඳුන්වාදීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන් කණ්ඩායමක් සමත්වී ඇත.

එම පර්යේෂකයින් පවසන්නේ මොළය සම්බන්ධ MRI පරීක්ෂණයක පින්තූර උපයෝගි කරගනිමින් අල්ට්සයිමර්ස් ව්‍යාධිය කල්තබා හඳුනාගත හැකි බවය.

අල්ට්සයිමර්ස් ව්‍යාධිය වත්මන් ලෝකයේ මරණ වැඩි හරියකට හේතුවෙන රෝගයක් ලෙස හඳුනාගනු ලැබ ඇත.

පුද්ගලයකුගේ චින්තන ශක්තිය පිරිහීමට ලක්කෙරෙමින් මතකය සහ තර්කානුකූල සිතිවිලි නතර කෙරෙන අල්ට්සයිමර්ස් ව්‍යාධිය ඊට ගොදුරුවූවන්ගේ මානසික ක්‍රියාකාරිත්වය අක්‍රිය කරනු ලබන ලබයි.

වැඩිවශයෙන් වෘද්ධ පුද්ගලයන් ගොදුරු කරගනු ලබන අල්ට්සයිමර්ස්, පුද්ගලයකුගේ මරණය තෙක්ම බලපාන ව්‍යාධියකි.

එම ව්‍යාධිය කල්තබා හඳුනාගැනීම සඳහා ලෝකයේ ප්‍රධාන රටවල පර්යේෂණ ක්‍රියාත්මකවන අතරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය විද්වතුන් කණ්ඩායමක් ද ඒ සඳහා යොමුවිය.

එම පර්යේෂණ කණ්ඩායමට නායකත්වය දුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විද්‍යුත් සහ විදුලි ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,ආචාර්ය ජනක විජේකුලසූරිය BBC සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ MRI පරීක්ෂණයකින් ලබාගන්නා පින්තූර මගින් අල්ට්සයිමර්ස් ව්‍යාධිය වැඩෙන ආකාරය හඳුනාගත හැකි බව ය.

සිය කණ්ඩායම විසින් සිදුකරන ලද්දේ MRI පරීක්ෂණයක පින්තූර උපයෝගී කර ගනිමින් මෙම ව්‍යාධි අනතුර කල්තබා හඳුනාගැනීමේ ක්‍රමවේදයක් සකස්කිරීම බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,ආචාර්ය ජනක විජේකුලසූරිය පවසයි.

"MRI පරීක්ෂණයකින් ලබාගත් පින්තූර අපේ කණ්ඩායම නිර්මාණය කළ ගණිත ක්‍රමයක්(Algorithm) තුළට ඇතුළත් කළාම අල්ට්සයිමර්ස් ව්‍යාධිය හැදෙන්න කොයිතරම් සම්භාවිතාවක් තියෙනවද කියල ඒකෙන් කියන්න පුළුවන්" යැයි ආචාර්ය ජනක විජේකුලසූරිය පැවසීය.

"මෙම පර්යේෂණයේ දී සිදුකෙරුනේ අල්ට්සයිමර්ස් ව්‍යාධිය ඇති සහ නැති අයගේ දත්ත තොරතුරු අරගෙන ඒවා අධ්‍යයනය කිරීම. MRI පින්තූරවල සුදුපාට කලාපයක් පේනවා. කීප දෙනකුගෙන් ලබාගත් MRI පින්තූර අනුව ඒවායේ සැසඳීමක් මේ පර්යේෂණයේ දී සිදු කෙරුණා. අල්ට්සයිමර්ස් ව්‍යාධිය ගොදුරුවෙමින් සිටින අයගෙන් ලබාගත් MRI පින්තූරවල සුදුපාට කලාපයේ පැතිරීමක් පෙන්නුම් කෙරෙනවා." ආචාර්ය ජනක විජේකුලසූරිය වැඩිදුරටත් පැහැදිලි කළේය.

එම සුදු පැහැති කලාපවලට අතිරේකව වෙනත් කරුණු රාශියක් ද මෙම පර්යේෂණයේදී සැලකිල්ලට ගන්නා බව පවසන ආචාර්ය ජනක විජේකුලසූරිය අල්ට්සයිමර්ස් ව්‍යාධිය පුද්ගලයකු ගොදුරු වෙමින් සිටින්නේද යන්න එම කරුණු අනුව හඳුනාගත හැකි බව ද කියාසිටී.

ලොවපුරා ක්‍රියාත්මක මෙවැනි පර්යේෂණ තුළින් අල්ට්සයිමර්ස් ව්‍යාධිය ගොදුරුවන්නන් හඳුනාගැනීම වඩාත් නිරවද්‍ය කරගත හැකිවන බව ආචාර්ය ජනක විජේකුලසූරිය පෙන්වා දෙයි.