ජාකර්තා ආණ්ඩුකාරවරයාට එරෙහිව දැවැන්ත විරෝධතාවක්

Image copyright AFP/Getty
Image caption පනස්දහසක පිරිසක් විරෝධතාවට එක්වී ඇති අතර විසිදහසක පොලිස් භට හමුදාවක් සේවයේ යොදවා ඇති බවයි පැවසෙන්නේ.

ඉන්දුනීසියාවේ ජාකර්තා නගර මධ්‍යයට රැස්වූ දසදහස් ගණනක් මුස්ලිම් විරෝධතාකරුවෝ ආණ්ඩුකාරවරයා ආගමට අපහාස කළ බවට චෝදනා කරමින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටියහ.

මුස්ලිම් ජනගහණය වැඩි නගරයක් කිතුනු බැතිමතෙකු විසින් පාලනය නොකළයුතු බව විරෝධතාකරුවෝ පවසති.

ලබන පෙබරවාරි මාසයේ යළිත්වරක් ආණ්ඩුකාර ධූරය සඳහා තරඟ වදින චීන ජාතිකයෙකු මෙන්ම කතෝලිකයෙකු ද වන බසුකි ජාහියා පූර්නමා පැවසුවේ තම විරුද්ධවාදීන් කුරානයේ ඇති සඳහනක් යොදාගනිමින් ඡන්දදායකයන් රවටමින් තමාට ප්‍රහාර එල්ලකරන බවය.

Image copyright AFP
Image caption පූර්නමා පැවසුවේ තම විරුද්ධවාදීන් කුරානයේ ඇති සඳහනක් යොදාගනිමින් ඡන්දදායකයන් රවටමින් තමාට ප්‍රහාර එල්ලකරන බවය

ඇතැම් මුස්ලිම් ජාතික කණ්ඩායම් කුරානයේ සඳහනක් උපුටාදක්වමින් පූර්නමාට ඡන්දය නොදෙන ලෙස දැනටමත් ජනතාවගෙන් ඉල්ලා ඇත.

මුස්ලිම් නොවන අයෙකුගේ පාලනය යටතේ මුස්ලිම්වරුන් සිටීම කුරානයේ අඩංගු පාඨයක් මගින් තහනම් කර ඇති බව ඇතැම් අය පවසන අතර එහෙත් එම පාඨය යුද්ධයක් පැවති කාලයක කුරානයට ඇතුළත් වූවක් බැවින් එය නොසලකා හැරිය යුතු බව තවත් පිරිසකගේ අදහසය.

පූර්නමා ප්‍රකාශ කර තිබුණේ 'සුරත් අල්මයිදා 51 පාඨය මගින් ඔබව රවටා තිබුනද ඡන්දය දීම ඔබේ අයිතියක්'යනුවෙනි.

මෙම ප්‍රකාශය මගින් ශුද්ධවූ කුරානයට අපහාසයක් වූ බවයි විරෝධතාකරුවන් පවසන්නේ.

ඉන්දුනීසියාවේ ජනගහනයෙන් 1% ක් චීන ජාතිකයන් වේ.

ලබන පෙබරවාරි මාසයේදී පැවැත්වෙන ඡන්දවිමසීම සඳහා පූර්නමාට එරෙහිව මුස්ලිම් අපේක්ෂකයන් දෙදෙනෙකු ඉදිරිපත්වී සිටිති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්