ආබාධිත සෙබළුන්ගේ උද්ඝෝෂණය
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ආබාධිත සෙබළුන්ගේ උද්ඝෝෂණය අවසන්

ආබාධ සහිත හමුදා සාමාජිකයන් පිරිසක් සතියකට ආසන්න කාලයක් ගෙනගිය උද්ඝෝෂණය අද අවසන් විය.

වසර 12 ක සේවා කාලය අවසන් නොකර ස්ව කැමැත්තෙන් වන්දි මත විශ්‍රාම ලැබූ එම පිරිස සිය උද්ඝෝෂණය අවසන් කළේ ඔවුනට ද සේවා විශ්‍රාම වැටුප ලබාදීමට රජය ලිඛිතව එකඟවීමත් සමගිනි.

අදාළ හමුදා සාමාජිකයින්ගේ නියෝජිතයින් සමග අද (නොවැ. 07) පැවැති සාකච්ඡාවේදී ආරක්ෂක ලේකම්වරයා විසින් ලිඛිතව පළකරන ලද එකඟතාව අනුව, ලබන පෙබරවාරි මාසයේ සිට සේවා විශ්‍රාම වැටුප ලබාදෙනු ඇත.

කෙසේවෙතත්, එම උද්ඝෝෂකයින් භික්ෂු සංවිධාන කිහිපයක් ද සමග අද උදෑසන ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරීමේදි හටගැනුණේ උණුසුම් තත්ත්වයකි.

එය පාලනය කරගැනීම සඳහා පොලිසිය කඳුළු වායු හා ජල ප්‍රහාර ද එල්ල කළ අතර එහිදී දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇතිවිය.

ඉල්ලීම් සියල්ල ඉටුකරන බවට පොරොන්දු දී තිබියදී මෙලෙස විරෝධතාවල යෙදීම දේශපාලන අවශ්‍යතා මත සිදුවන්නක්දැයි සැක මතුවී ඇති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ඉරිදා බීබීසී සංදේශයට පැවසීය.