'සෙසිල්' මැරූ දඩයක්කරුට එරෙහි නඩුව හකුලා ගනී

Image copyright AP

සිම්බාබ්වේ හුවන්ග් ජාතික උද්‍යානයේ ජීවත් වූ සුප්‍රසිද්ධ 'සෙසිල්' සිංහයා මරා දැමූ දඩයක්කරුට එරෙහිව පවරා තිබූ නඩුව ඉවත් කිරීමට අධිකරණය පියවර ගෙන තිබේ.

2015 වසරේ දී ඇමරිකාවේ මිනසෝටා ප්‍රාන්තවාසි දන්ත වෛද්‍යවරයකුවන 'වෝල්ටර් පැල්මර්' සිංහයා මරා දැමීමගැන පාපොච්චාරණයක් කරමින් කියා සිටියේ දඩයම් කිරීමට සිම්බාබ්වේ නීතියෙන් ඉඩ ඇතැයි තමන් විශ්වාස කළ බවය.

වන උද්‍යානයෙන් එළිමහනට ගෙන්වා ගැනුණු 'සෙසිල්' මරා දැමුනේ දුන්නක් සහ ඊතලයක් භාවිත කරමිනි.

එම අනවසර දඩයමට සහය වූ 'තියෝ බ්‍රොන්ක්හෝස්ට්' සිම්බාබ්වේ ජාතිකයාටද චෝදනා එල්ල විය.

කෙසේ වෙතත් දඩයක්කරු 'වෝල්ටර් පැල්මර්ට' එරෙහිව ප්‍රබල සාක්ෂි ගොනුකර ගැනීමට නොහැකි වීම නිසා ඔහුට එරෙහිව පවරා තිබූ නඩුව ඉවත්කර ගැනීමට සිදුවන බව බුලවායෝ අධිකරණය ප්‍රකාශ කළේය.

මරා දැමුණු දහතුන් වියැති 'සෙසිල්' සිංහයා අභය භූමිය කරා පැමිණෙන්නන් හට ඉතා මිත්‍රශීලීව හැසිරෙන සිංහයකු බවට ප්‍රකටව සිටියේය.

'ජෙරිකෝ' නම් තවත් සිංහයකු, සිංහ ධේනුවන් සය දෙනකු සහ පැටවුන් දොළොස් දෙනකුගෙන් සමන්විත සමූහ දෙකක නායකයා වූයේ 'සෙසිල්'ය.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ක්‍රියාත්මක කළ පර්යේෂණයකට ද 'සෙසිල්' සිංහයා ඇතුළත් කොට තිබුණි.

සිම්බාබ්වේ ජාතික උරුමයක් වූ මෙම සිංහයාගේ සිත් ඇදගන්නා සුළු කළු කේෂර සංචාරකයින් අතර මෙන්ම වන ජීවී නිරීක්ෂකයන් අතර ද 'සෙසිල්' සිංහයා ප්‍රසිද්ධ වීමට හේතු වූ අංගයක් විය.

බීබීසී යෙන්