මියන්මාරයේ ගැටුමකින් හමුදාවේ දෙදෙනෙක් මරුට

Image caption රඛින් හි රෝහින්ග්‍යා ජනතාව පැවැත්වූ විරෝධතාවක්

උතුරු මියන්මාරයේ රඛින් ප්‍රාන්තයේ සිටින රෝහින්ග්‍යා මුස්ලිම් සන්නද්ධකරුවන් බවට සැක කෙරෙන පිරිසක් සහ යුද හමුදාව අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයන් අටදෙනෙකු මියගිය බව එරට රජයේ මාධ්‍ය පවසයි.

සෙනසුරාදා තුවක්කු සහ මුවහත් ආයුධ රැගත් පුද්ගලයන් පිරිසක් හමුදා කණ්ඩායම් වෙත සැඟවී එල්ලකළ ප්‍රහාරයකින් පසු මෙම ගැටුම හටගත් බවද එම මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගැටුමින් හමුදා සෙබළුන් දෙදෙනෙකු මියගොස් ඇති අතර ප්‍රහාරකයන්ගේ සිරුරු හයක් පසුව සොයාගෙන ඇත.

පසුගිය මාසයේ දේශසීමාවන් අසළ කළ මෙහෙයුම් වලදී පොලිස් නිලධරීන් නවදෙනෙකු මියයාමත් සමග රෝහින්ග්‍යා මුස්ලිම් සුළු ජන ප්‍රජාව වැඩි වශයෙන් ජීවත්වන උතුරු රඛින් ප්‍රදේශය සහ බංග්ලාදේශ දේශසීමාවේ ප්‍රදේශවල නොසන්සුන් වාතාවරණයක් පැවතුණි.

මේ අතර පුද්ගලයන් ඝාතනය කිරීම්, ස්ත්‍රී දුෂණ සහ නිවෙස් ගිනි තැබීම ආදිය සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන ආරක්ෂක හමුදාවන්ට චෝදනා කරයි.

එහෙත් මියන්මාර රජය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි

බීබීසී යෙන්