ඉන්දීය විදේශ ඇමතිනියට 'වකුගඩු සැත්කමක්'

Image copyright Getty Images
Image caption වකුගඩු සැත්කමකට අදාළ පරීක්ෂණයකට තමන් භාජනය වීමට නියමිත බවට ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් නිවේදනය කළාය

වකුගඩු සැත්කමකට අදාළ පරීක්ෂණයකට තමන් භාජනය වීමට නියමිත බවට ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් ට්විටර් පණිවිඩයක් නිකුත් කිරීමත් සමග ඇයට වකුගඩු පරිත්‍යාග කිරීම සඳහා පුද්ගලයින් කිහිප දෙනෙකු ම ඉදිරිපත්වී ඇත.

හැට හතර හැවිරිදි ස්වරාජ් දිගු කාලයක් දියවැඩියා රෝගී තත්ත්වයෙන් පෙළෙන අතර මේ මාසය මුල දී ඇය රෝහල්ගත කෙරිණි.

Image caption ඇමැතිනියගේ ට්විටර් පණිවුඩයට ප්‍රතිචාර

තමන් වකුගඩු සැත්කමකට යොමුවීමට නියමිත බව ඇමතිනිය පසුගිය අඟහරුවාදා සිය ට්විටර් ගිණුමේ සඳහන් කළාය.

ඊට ප්‍රතිචාර දැක්වූ පුද්ගලයින් තමන් වකගඩු පරිත්‍යාග කිරීමට සූදානම් බව සමාජ ජාල ඔස්සේ කියා සිටි අතර ඉන් ඇතැමෙකු සිය දුරකතන අංක ද සඳහන්කර තිබිණි.

Image copyright AP
Image caption සුෂ්මා ස්වරාජ් ඇමතිනිය අගමැති නරේන්ද්‍ර මෝදි සමග

එසේ කැමැත්ත ප්‍රකාශ කළ ඉංජිනේරුවරයකුවන විසිහතර හැවිරිදි ඛෙම්රාජ් සර්මා ,"මම හොඳ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක්. ඒ නිසා සුෂ්මා ඇමතිනියට මගේ වකුගඩු පරිත්‍යාග කරන්න පුළුවන්" යැයි බීබීසී සමග පැවසීය.

කෙසේ වුවද, අදාළ පුද්ගලයින්ට වෙන් වෙන්ව ප්‍රතිචාර නොදැක්වුවද, තමන් වෙනුවෙන් වකුගඩු පරිත්‍යාග කිරීමට ඉදිරිපත්වූ සියලු දෙනාට ඇමතිනි සුෂ්මා ස්වරාජ් ස්තුතිය පළ කළාය.

සුෂ්මා ස්වරාජ්, අගමැති නරේන්ද්‍ර මෝදිගේ කැබිනට් මණ්ඩලයේ ප්‍රබල ඇමතිනියක ලෙස සැළකේ.