'ආර්ථික ආරක්ෂණවාදය පරාජය කරමු' APEC නායකයන්ගෙන් ඉල්ලීමක්

Image caption 2015 ආසියානු ශාන්තිකර කලාපීය සමුළුවේ දී ගනු ලැබූ සේයාරුවකි

කලාපය තුළ නිදහස් වෙළඳාම ස්ථාපිත කොට වර්ධනය වෙමින් පවතින ආර්ථික ආරක්ෂණවාදය පරාජය කරන මෙන් ආසියානු ශාන්තිකර කලාපීය සමුළුව ඉල්ලා සිටියි.

පේරු රාජ්‍යයේ මුළුදෙන මෙවර සමුළුවේ විශේෂ අවධානය යොමුවී තිබෙන්නේ කලාපය තුළ නිදහස් වෙළඳාම ස්ථාපිත කිරීම සහ වර්ධනය වෙමින් පවතින ආර්ථික ආරක්ෂණවාදය පරාජය කිරීමයි.

APEC සමුළුව ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා සහභාගීවන අවසන් ජාත්‍යන්තර රාජ්‍ය සමුළුවයි.

ඔබාමා පාලනය යටතේ ඇරඹි අන්තර් ශාන්තිකර කලාපීය සහයෝගීතා ගිවිසුමේ ඉදිරි වැඩකටයුතු ඇමරිකාවේ අනාගත ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අධීක්ෂණය කරනු ඇති බව විශ්වාස කෙරෙයි.

සමුළුව ආරම්භ වීමට පෙර මාධ්‍ය ඇමතූ පේරු ජනාධිපති පෙද්රෝ පාබලෝ කියා සිටියේ ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය විසින් ගනු ලබන ආරක්ෂක පිළිවෙත් හේතුවෙන් කලාපයේ ආරක්ෂණවාදය වර්ධනය වෙමින් ඇති අතර එය පරාජය කිරීමට කඩිනමින් කටයුතු කළ යුතුව ඇති බවය.

අන්තර් ශාන්තිකර කලාපීය සහයෝගිතා ගිවිසුමෙන් ඉවත් වීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියා කළොත් කලාපීය රටවල් විකල්ප ආර්ථික ගිවිසුම් කෙරෙහි අවධානය යොමු කරන අතර ඉන් චීනයට ප්‍රතිලාභ ලැබෙන ගිවිසුම් වෙත රටවල් යොමු වීමේ ඉඩකඩක් පවතින බව පේරු රාජ්‍යයේ සිටින බීබීසි වාර්තාකරු පෙන්වා දෙයි.