ඉන්දියාවේ දුම්රිය අනතුර: මරණ සංඛ්‍යාව ඉහළට
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉන්දියාවේ දුම්රිය අනතුර: මරණ සංඛ්‍යාව ඉහළට

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී අනතුරට පත් දුම්රියේ මැදිරි පිරික්සීමේ කටයුතුවල සහන සේවා කණ්ඩායම් තවදුරටත් යෙදී සිටිති.

පීලි පැනීම හේතුවෙන් සිදු වූ අනතුරෙන් මේ දක්වා දුම්රිය මගීන් 140 දෙනෙකු මරුමුවට පත්ව ඇතැයි වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.

ඉන්දෝර් සිට පට්නා දක්වා ධාවනය වෙමින් තිබූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඛාන්පූර් නගරය ආසන්නයේදී පීලි පැන ඇති අතර අනතුරෙන් 150 කට අධික පිරිසක් තුවාල ලැබූහ.

අනතුරින් තැලි පොඩිවී ගිය දුම්රිය මැදිරිවල කොටස් කපා ඉවත් කිරීම සඳහා ලෝහ කැපීම සඳහා භාවිත කරන ලාම්පු යොදා ගනිමින් සහන සේවකයෝ රාත්‍රිය පුරා කටයුතු කළහ.

දුම්රිය පීල්ලක පැල්මක් අනතුරට හේතුවී ඇතැයි සැක කෙරේ.

ඉන්දියානුවෝ දෙකෝටි විසි ලක්ෂයක් දෛනිකව දුම්රිය භාවිතා කරති.

ඉන්දියාව තුළ දිනපතා දුම්රිය 11,000 ක් ධාවනය කෙරෙන අතර ඉන් 7,000 ක් මගී දුම්රිය සේවා සඳහා යොදා ගැනේ.

2014 වසරේ නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව ඉන්දියාවේ දුම්රිය අනතුරු හේතුවෙන් සිදු වී ඇති මරණ සංඛ්‍යාව 27,581 කි.

ලොව දීර්ඝතම දුම්රිය මාර්ග ජාල පිහිටි රටවල් අතුරින් ඉන්දියාව තෙවන ස්ථානයේ පසුවේ.

සබැඳි විෂයයන්