කිව් සම්පන්ට ජීවිතාන්ත සිරදඬුවමක්

Image caption කිව් සම්පන් සහ නුඕන් චී

'කෙමර් රූජ්' සංවිධානයේ හිටපු නායකයන් දෙදෙනකුට එරෙහිව නියමකරනු ලැබ ඇති ජීවිතාන්ත සිරදඬුවම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මකවන අධිකරණයක් විසින් තහවුරු කරනු ලැබ ඇත.

1970 දශකයේදී කාම්බෝජයේ බලය අල්ලාගත් 'කෙමර් රූජ්' සංවිධානයේ මුල්පෙළේ නායකයන් අතරින් දෙදෙනකු එම දඬුවමට යටත් කරනු ලැබ සිටී.

ඔවුන් දෙදෙනාගෙන් නුඕන් චී(Nuon Chea) නමැත්තා මේවනවිට අනූවැනි වියෙහි පසුවෙන අතර ඔහු 'කෙමර් රූජ්'නායක පොල්පොට්ගේ 'දකුණු අත' මට්ටමින් ක්‍රියාකළ පුද්ගලයා ලෙස සැලකේ.

ජීවිතාන්තය තෙක් සිරදඬුවම් ලබන දෙවැනි චුදිතයා වූ කිව් සම්පන්(Khieu Samphan) පොල්පොට් පාලනය යටතේ කාම්බෝජයේ රාජ්‍ය නායකයා හැටියට ක්‍රියාකළ අතර ඔහු දැනට අසූපස්වෙනි වියේ පසුවෙයි.

Image caption කෙමර් රූජ් වධ බන්ධන

තමන්ට එරෙහිව ගෙනගිය අධිකරණ ක්‍රියාමාර්ගය දෝෂ සහගත වීයැයි කියාසිටින චුදිතයන් දෙදෙනා එම අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනා ඉදිරිපත්කර තිබුණි.

සැකකරුවන් දෙදෙනාට එරෙහි චෝදනා විභාගකළ එක්සත් ජාතීන්ගේ උත්තරීතර අධිකරණය ඇතැම් චෝදනා බැහැර කළ නමුත් සෙසු චෝදනාවලට ඔවුන් වැරදිකරුවන් බව තීන්දු කළේය.

'කෙමර් රූජ්' සංවිධානයේ පාලනය යටතේ විසිලක්ෂයකට ආසන්න මිනිස් ඝාතන සිදුකර ඇතිබව ඇස්තමේන්තුකර ඇත.