මන්මෝහන් සිං ගෙන් මෝඩි මුල්‍ය පිළිවෙතට ප්‍රහාරයක්

Image copyright AFP
Image caption පවතින තත්වය මත ඉන්දියානු රුපියල වාර්තාගත ලෙස අවප්‍රමාණ වී ඇති අතර ඇමරිකානු ඩොලරයක් සඳහා ඉන්දියානු රුපියල් 69ක් ගෙවීමට සිදුවී තිබේ

ඉන්දීය මුදල් නෝට්ටු අවලංගු කිරීමට යොදාගත් ක්‍රමවේදය නිත්‍යානුකූල කොල්ලකෑමකට අවස්ථාව සලසන දුර්වල කළමනාකරණයක් බවට එරට හිටපු අගමැති මන්මෝහන් සිං පවසයි.

පාර්ලිමේන්තු විවාදයකට එක්වෙමින් මන්මෝහන් සිං එසේ පැවසුවේ දැනුම් දීමකින් තොරව ඉහළ වටිනාකමකින් යුත් සියලුම මුදල් නෝට්ටු අවලංගු කිරීම පිළිබඳව අගමැති නරේන්ද්‍ර මෝඩි දැඩි විවේචනයකට ලක්කරමිනි.

මුදල් අර්බුදය පිලිබඳ පැවති විවාදයේ දී ඉන්දියානු පාර්ලිමේන්තුව දැඩි උණුසුම් ස්වභාවයක් ගත් අතර කිහිපවිටක්ම සභාව පවත්වාගෙන යාමට බාධා එල්ලවිය.

මන්මෝහන් සිං ඇතුළු තවත් බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවේචනවලට මුහුණ දීමට අගමැති මෝඩිට සිදුවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

හිටපු අගමැති මන්මෝහන් සිං ආර්ථික විශේෂඥයෙකු වන අතර එක්දහස් නවසිය අනූ දෙක වසරේ දී ඉන්දීය රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස ඉන්දියාව ආර්ථික අවපාතයෙන් මුදාගැනීමට සමත්විය.

ජනතා විශ්වාසය

"අගමැතිවරයා කියනව කළු සල්ලි නැවැත්වීමට තියන ක්‍රමය මේක කියල. මම ඒ අදහසට විරුද්ධ නැහැ. ඒක කරපු විදියටයි අපි අකමැති. මේ කාරණය නිසා ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය 02% කින් පහළ වැටෙන්න පුළුවන්. අපිට පුලුවන්ද මුදල් භාවිතය සහ බැංකු ක්‍රමය පිලිබඳ ජනතා විශ්වාසය පළුදුවෙන්න ඉඩහරින්න? " යනුවෙන් හිටපු අගමැතිවරයා පැවසූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

නරේන්ද්‍ර මෝඩි අගමැතිවරයාගේ වැඩසටහනට අනුව අද (24) මධ්‍යම රාත්‍රියට පෙර ඉහළ වටිනාකමකින් යුතු සියලුම මුදල් නෝට්ටු භාවිත කළ යුතුවන අතර එම කාලසීමාවෙන් පසු අදාළ නෝට්ටු බැංකුවල තැන්පත් කිරීමේ හැකියාව තිබුණද යම් මිලදී ගැනීමක් සඳහා මුදල් ලෙස භාවිත කිරීමේ හැකියාවක් නැත.

පවතින තත්වය මත ඉන්දියානු රුපියල වාර්තාගත ලෙස අවප්‍රමාණ වී ඇති අතර ඇමරිකානු ඩොලරයක් සඳහා ඉන්දියානු රුපියල් 69ක් ගෙවීමට සිදුවී තිබේ.

මේ මස මුලදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිගේ දුෂණ මැඩලීමේ වැඩසටහනේ කොටසක් ලෙස රුපියල් පන්සියයේ සහ දහසේ නෝට්ටු අවලංගු කෙරෙන බව නිවේදනය කෙරිණි.

එහෙත් ආදේශක නව මුදල් නෝට්ටු හිඟ වීම හේතුවෙන් ඉන්දියානු ආර්ථිකය නොසිතූ ලෙස නැවතීමකට ලක්විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර