කොළොම්බියානු රජය හා ෆාර්ක් යළි ගිවිසගනිති

  • 2016 නොවැම්බර් 25
Image caption නව ගිවිසුම පිළිබඳ ජනමත විචාරණයක් පවත්වනු වෙනුවට එය කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කෙරෙනු ඇත

පසුගිය ඔක්තෝබර් මාසයේ ජනමත විචාරණයකින් පරාජයට පත්වූ කොළොම්බියානු රජය හා ෆාර්ක් සන්නද්ධ කණ්ඩායම එළැඹුනු ගිවිසුම වෙනුවට යළි සැකසුනු එකඟතාවකට දෙපාර්ශ්වය අත්සන් තැබූහ.

ඒ අනුව, නව ගිවිසුම පිළිබඳ ජනමත විචාරණයක් පවත්වනු වෙනුවට එය කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කෙරෙනු ඇත.

260,000 ට අධික ජීවිත ප්‍රමාණයක් අහිමි කරමින් ද තවත් මිලියන ගණනක් අවතැන් කරමින් ද දශක 5ක් පුරා පැවත එන කොළොම්බියානු රජය හා ෆාර්ක් සංවිධානය අතර සන්නද්ධ ගැටුම අවසන් කිරීම එම ගිවිසුමේ අරමුණය.

Image caption ෆාර්ක් සටන්කරුවන් පිරිසක්

කෙසේවෙතත්, ඊයේ (නොවැ.24) බොගෝටා අගනුවරදී මෙවර ගිවිසුමට අත්සන් තැබුණේ ඉහළ උත්සවාකාරයකින් තොරවය.

800ක පමණ පිරිසක්

පසුගිය සැප්තැම්බර් මස 26 වෙනිදා කාටගෙනා වරාය නගරයේ පැවැති පෙර ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බෑන්කී මූන් මෙන් ම ප්‍රාන්ත ප්‍රධානීන් ද ඇතුළුව 2,500ක් පමණ සහභාගී වූහ.

එහෙත් මෙවර දක්නට ලැබුණේ 800ක පමණ පිරිසකි.

"යුද්ධයට ස්ථිර අවසානයක් මේ තුළින් උදාවනවා. ඒ නිසා අප අතර ඇති බෙදීම් ශිෂ්ටසම්පන්නව විසඳාගන්නට හැකිවේවි. " යනුවෙන් ෆාර්ක් සංවිධානයේ නායක ටිමොචෙන්කෝ හෙවත් රොද්‍රිගෝ ලොන්ඩොනෝ පැවසීය.

Image caption ජනමත විචාරණයේ දී ගිවිසුමට එරෙහිව උද්ඝෝෂණය කළ පිරිසක්

නව ගිවිසුම පෙර අත්සත් තැබුණු ගිවිසුමට වඩා යහපත් එකක් වනු ඇතැයි කී ජනාධිපති යුවාන් මැනුවෙල් සැන්ටොස්, ඔක්තෝබරයේ පැවැති ජනමත විචාරණයේදී ඊට 'එරෙහිව' ඡන්දය භාවිත කළ ජනතාවගේ ගැටලු අතරින් බොහෝමයක් කෙරෙහි නව ගිවිසුමෙන් අවධානය යොමුකර ඇති බව පෙන්වා දුන්නේය.

වින්දිතයින්ට වන්දි

මීට පෙර ගිවිසුමේ ඇතුළත්වූ කරුනු 57 ම පාහේ සංශෝධන එක්කර තිබේ. ඒ අනුව ෆාර්ක් සංවිධානය සතු සියලුම දේපළ ප්‍රකාශයට පත්කොට පැවරිය යුතු අතර ඔවුන් සතු මුදල් යුද්ධයේ වින්දිතයින්ට වන්දි වශයෙන් පිරිනැමේ. පරිවර්තනීය අධිකරණ පද්ධතියක් වෙනුවෙන් වසර 10ක කාලසිමාවක් ඇතුළත්ය. ෆාර්ක් සංවිධානයේ සාමාජිකයින් සම්බන්ධව සිටි කවර හෝ මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ තොරතුරු ඔවුන් විසින් සපයනු ලැබිය යුතුවේ. මීට අමතරව සාම ගිවිසුම කොළොම්බියානු ව්‍යවස්ථාවේ අංගයක් නොවන බවට ද ගිවිසගෙන ඇත.

ලබන සතිය මුලදී රජයට වැඩි බලයක් ඇති කොංග්‍රස් මණ්ඩලය තුළ නව ගිවිසුම පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

හිටපු ජනාධිපති අල්වාරෝ යුරිබේ විසින් ගොඩනගන ලද ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යස්ථ පක්ෂය දැනටමත් ගිවිසුමට විරෝධය පළකර තිබුණද කොංග්‍රස් මණ්ඩලය තුළ සිටින අනෙකුත් පක්ෂවල සහය පළවී ඇති බැවින් නව සාම ගිවිසුමට එතුළ අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර