ෂින්ජියෑං ජනයාගේ ගමන් බලපත් රාජසන්තක කෙරේ

Image copyright Getty Images
Image caption ගමන් බලපත්‍ර රාජසන්තක කිරීම චරණයට ඇති නිදහස උල්ලංඝනය කිරීමක් ලෙස හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් හඳුන්වා දෙනු ලැබ ඇත

චීනයේ බටහිරදිග පිහිටි ෂින්ජියෑං පළාතේ ජනයා සතු ගමන් බලපත්‍ර රාජසන්තක කිරීමට එරට බලධාරීන් පියවරගෙන ඇතැයි වාර්තා වේ.

නිතර නොසන්සුන් තත්ත්ව මතුවන ෂින්ජියෑං පළාතේ මෙවැනි පියවරක් ගැනීමේ අරමුණ 'ත්‍රස්තවාදය'ට එරෙහිව සටන් කිරීම බව රජය රජය පැවසුවද, එය මානව හිමිකම් සංවිධානවල විවේචනයට ලක්වී ඇත.

තමන් පුළුල් වශයෙන් වෙනස්කම්වලට ලක්වන බව ෂින්ජියෑං පළාතේ මුස්ලිම් ප්‍රජාව අතරින් බොහෝදෙනා පවසන අතර එම පළාතේ තැනින් තැන හටගන්නා ප්‍රචණ්ඩ ක්‍රියාවලට ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් වගකිව යුතු බව චීන රජය පවසයි.

ෂින්ජියෑං පළාතේ ජනගහණයෙන් 45%ක් පමණවන උයිඝුර් ප්‍රජාව, තමන් සංචාරයේ යෙදීම වළකමින් ගමන් බලපත් ප්‍රතික්ෂේප කෙරෙන බවට නිතර චෝදනා නගති.

ගමන් බලපත් සඳහා ඉල්ලුම්කරනවිට ඩීඑන්එ සාම්පල මෙන් ම වෙනත් ජෛව විද්‍යාත්මක දත්ත ඉදිරිපත් කරන ලෙස පසුගිය ජුනි මාසයේදී ෂින්ජියෑංහි පොලිසිය විසින් එහි වැසියන්ට නියෝග කරනු ලැබිණ.

'චරණයට ඇති නිදහස උල්ලංඝනය කිරීමක්'

නව රෙගුලාසි අනුව "සුරක්ෂිතව තැබීම" සඳහා සියලු ජනයා සිය ගමන් බලපත් පොලිසිය භාරයට පත් කළ යුතු වේ.

බෙයිජිංහි සිටින බීබීසී වාර්තාකරු පවසන පරිදි පළාතේ සියලු ජනතාවට ගමන් බලපත් යළි ලබාගත හැකි වනුයේ, රටින් පිටව යාම සඳහා අනුමැතිය ඉල්ලාසිටීමෙන් අනතුරුවය.

මෙය, චරණයට ඇති නිදහස උල්ලංඝනය කිරීමක් ලෙස හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.

මෙම පියවර, පළාතේ සියලු ජනතාව කෙරෙහි බලපාන අයුරින් පනවා ඇතැයි පෙනෙන්නට ලැබුණ ද එ් හරහා උයිඝුර් ප්‍රජාව ඉලක්ක කෙරෙනු ඇති බව ලෝක උයිඝුර් කොංග්‍රසය පවසයි.

ගෙවි ගිය වසර කිහිපය පුරාම උයිඝුර් සන්නද්ධ කණ්ඩායම් වලට බලධාරීන් විසින් පහර දෙනු ලැබුවේ ඔවුන් විදේශ ත්‍රස්ත කණ්ඩායම්වල පෙළඹවීම හෝ සහය ලබන බව පවසමිනි. එහෙත්, ප්‍රචණ්ඩ ක්‍රියාවලට තමන්ගේ සම්බන්ධයක් නැති බව උයිඝුර් නායකයෝ පවසති.

බීබීසී යෙන්