පාකිස්තානයට නව හමුදාපතිවරයෙක්

පාකිස්තානයේ නව හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජෙනරල් කමර් ජාවේඩ් බජ්වා නම්කර තිබේ.
කැනඩාවේ පුහුණු ලත් වසර 35ක සේවා කාලයක් හිමි බජ්වා, ලබන අඟහරුවාදා (නොවැ. 29) පාකිස්තානයේ වඩාත් ම බලසම්පන්න තනතුරක්වන හමුදාපති ධුරයේ වැඩ භාරගැනීමට නියමිතය.
ඒ අනුව ඔහු, වසර තුනක කාලයක් හමුදාපති පදවියේ හිඳිමින් රටේ ආරක්ෂාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් ගෞරවය හිමිකරගෙන විශ්‍රාම ගන්නා ඉතා ජනප්‍රිය ජනරාල්වරයාවන රහීල් ෂරිෆ්ගේ අනුප්‍රාප්තිකයා වනු ඇත.
අර්බුදකාරී කාෂ්මීරයේ සටන් විරාම සීමා තීරයේ රැඳී සිටින සුවිශේෂී එක්ස් (X) බලකායට අණ දෙනු ලැබුවේ ලුතිතන් ජෙනරල් ජාවේඩ් බජ්වා ය.
පාකිස්තානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙලේ ආරක්ෂාව භාරව සිටින තවත් ඉහළ ම නිලධාරියකුවන, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලුතිතන් ජෙනරල් සුබයිර් හයාට් සිටිය දී ඔහුව පරයමින් හමුදාපති ධුරයට ජාවේඩ් බජ්වා තෝරාගෙන ඇතැයි වාර්තා වේ.
විශ්‍රාම යන ජෙනරල් රහීල් ෂරිෆ් එම තනතුරට උසස්වීමට පෙර හොබවන ලද පුහුණු හා ඇගයීම් අධිපති තනතුරෙහි, නව හමුදාපති ලෙස නම් කර ඇති ජාවේඩ් බජ්වා මේ වනවිට ක්‍රියාකරමින් සිටී.
එතැනින් උසස්වීම් ලබා මාස කිහිපයක් ඉකුත්ව යද්දී, විශ්‍රාම යන හමුදාපති ෂරීෆ් සන්නද්ධ කණ්ඩායම්වලවලට තෝතැන්නක් වූ වසිරිස්තාන් පළාත තුළ දැවැන්ත මෙහෙයුමක් දියත්කරමින් රටේ උතුරුදිග ප්‍රදේශයේ සන්නද්ධ ප්‍රහාර සැළකිය යුතු ලෙස අඩුකිරීමට සමත්විය.
ජනතාවගේ ආදරයට ලක්ව සිටින වත්මන් හමුදාපති ජෙනරල් රහීල් ෂරිෆ්, එරට දේශපාලනඥයින්ට ද වඩා ජනප්‍රිය බව පාකිස්තානයේ විපක්ෂ නායක ඉම්රාන් ඛාන් විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ.
කෙසේවුවද, රටේ අනෙකුත් ප්‍රදේශවල තවදුරටත් එල්ලවන ප්‍රහාර මෙන් ම කාෂ්මීරයේ දේශසීමා කලාපය තුළ ඉන්දියාව සමග උත්සන්නවන නොසන්සුන් තත්ත්වය හේතුවෙන් පාකිස්තාන බලසම්පන්න හමුදාව අභියෝග රැසකට මුහුණ දෙමින් සිටී.