කරුණානිධි රෝහලේ

Image caption හිටපු මහඇමති කරුණානිධි

තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහඇමති DMK නායක මුතුවේල් කරුණානිධි හදිසියේම රෝහල්ගත කෙරුණි.

පෝෂණ ඌනතා සහ විජලනයෙන් පෙළෙන දැනට අනූතුන්වෙනි වියේ පසුවෙන DMK නායකයා අද (31) උදෑසන රෝහල්ගත කරන ලදබව රෝහල් බලධාරීහු තහවුරු කළහ.

ජීවිත අනතුරක් නොමැති කරුණානිධිට වෛද්‍ය මණ්ඩලයක අධීක්ෂණය යටතේ ප්‍රතිකාර කෙරෙමින් ඇති බවත් ඔවුහු පවසති.

එහෙත් කරුණානිධිට දින කීපයක් රෝහළේ ගතකිරීමට සිදුවෙන බව ඔහු ප්‍රතිකාර ලබන රෝහලේ විධායක අධ්‍යක්ෂ අරවින්දන් සෙල්වරාජ් පවසයි.

පසුගියදා ආසාත්මිකතාවට ගොදුරුව ප්‍රතිකාර ලබමින් සිටි තමිල්නාඩු හිටපු මහඇමතිවරයා මාසයක් පමණ කාලයක් ප්‍රසිද්ධියේ පෙනී සිටිනු දක්නට නොලැබුණි.

එම තත්වය යටතේ තමිල්නාඩු ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩලයේ අතුරු මැතිවරණ තුනක ප්‍රචාරක කටයුතුවලින් ඈත්ව සිටීමට ද ඔහුට සිදුවිය.