ඉතාලි ජනමත විමසුම පරාදයි - අගමැති අස් වෙයි

Image caption ඉතාලි අගමැති මාතියෝ රෙන්සි

ඉතාලි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කළ යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් පැවැත්වූ ජනමත විචාරණයෙන් ලද බරපතළ පරාජයෙන් පසු අගමැති මාතියෝ රෙන්සි සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශයට පත් කළේය.

ජනමත විචාරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් තමන් සම්පූර්ණ වගකීම භාරගන්නා බව ප්‍රකාශ කළ අගමැතිවරයා, පසුගිය රාත්‍රියේ (දෙසැ 04) හදිසි මාධ්‍ය හමුවක් කැඳවා කියාසිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සැලසුමට එරෙහිව ජනමත විචාරණයේ දී ප්‍රචාරණ කටයුතු සිදු කළ කඳවුර කඩිනමින් සිය ඉදිරි සැලසුම් ඉදිරිපත් කළ යුතුව ඇති බවය.

ජනමත විචාරණ ප්‍රතිඵලය අනුව 60% ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට එරෙහිව ඡන්දය භාවිතකර තිබුණු අතර ප්‍රතිසංස්කරණ සැලසුමට කැමැත්ත පල කොට තිබුණේ 40%ක ඡන්ද දායකයන් ප්‍රමාණයක් පමණි.

ඉතාලි ඡන්දදායකයන්ගෙන් 70%ක් ජනමත විචාරණයයේ දී ඡන්දය පාවිච්චි කර තිබුණි.

Image copyright Reuters

අද සවස (දෙසැ 05) කැබිනට් හමුවක් කැඳවා අගමැති ධුරයෙන් ඉල්ලා අස් වීම නිල වශයෙන් දැනුම් දීමට බලාපොරොත්තු වන බවත් ඉන් පසු ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාර දීමට තමන් අදහස් කරන බව අගමැති මාතියෝ රෙන්සි මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

ඉතාලියේ දැනට පවතින පාලනය කර ගැනීම දුෂ්කර දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට අගමැති මාතියෝ රෙන්සි උත්සාහ දැරුවේ සිය දේශපාලන අනාගතය පරදුවට තබමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය හරහා මධ්‍යම ආණ්ඩුව ශක්තිමත් කරමින් පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනේට් සභාවේ බලතල සීමා කිරීම අගමැතිවරයාගේ සැලසුම විය.

කෙසේ වෙතත්, විරුද්ධ පක්ෂය මෙන්ම අගමැතිවරයාගේ දේශපාලන පක්ෂයේ ඇතැම් දේශපාලකයන්ද තර්ක කළේ මෙම ප්‍රතිසංස්කරණ තුළින් අගමැති ධුරයේ බලය වැඩි කරගැනීමට මාතියෝ රෙන්සි උත්සාහ දරන බවය.