ජයලලිතා ගේ අභාවය ගැන ජනපති, අගමැති ශෝකය

තමිල්නාඩුවේ මහ ඇමතිනී ජයරාම් ජයලලිතා Image copyright Reuters
Image caption 'ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් කැපවුණු, ජනතා ආදරය දිනාගත් දේශපාලන නායිකාවක්'

තමන් නියෝජනය කළ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් කැපවුණු, ජනතා ආදරය දිනාගත් තමිල්නාඩුවේ මහ ඇමතිනී, ජයරාම් ජයලලිතා ගේ අභාවය පිළිබඳ පුවත දැනගැනීමට ලැබී මහත් සංවේගයට පත් වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඉන්දීය දේශපාලනයේ අද්විතීය චරිතයක් වූ ජයලලිතා තමිල්නාඩුවේ ජනතාව විසින් සිය මහ ඇමතිනිය වශයෙන් කිහිප වතාවක්ම තෝරා පත් කර ගනු ලැබූ බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

'අම්මා' යන ආදරණීය නාමයෙන් ජනතා ගෞරවාදරයට පාත්‍ර වූ ජයලලිතාගේ අභාවය අවස්ථාවේ තමිල්නාඩුවේ ජනතාව සමඟ සිය ශෝකය බෙදාගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ නිවේදනයේ දැක්වේ.

Image copyright EPA
Image caption ජයලලිතා ගේ අභාවය ගැන ජනපති, අගමැති ශෝකය

ඇයගේ අභාවය පිළිබඳව ශෝකය පළකරන අගමැති රනිල් වික්‍රමසිංහ, ඇය දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ පමණක් නොව සමස්ත භාරත දේශයේ ජනතා ආදරය සහ ගෞරවය දිනා ගත් දේශපලාන නායිකාවක බව සිහිපත් කරයි.

"රෝගාතුරව සිටියදීත් පැවති මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් ලබා ගන්නට ඇය සමත් වූයේ පොදු ජනතාවගේ විශ්වාසය දිනාගත් ජනතා නායිකාවක් වූ බැවිනි," යනුවෙන්ද අගමැතිවරයා සිය නිවේදනයේ සඳහන් කරයි.

අභාවප්‍රාප්ත මහ ඇමතිවරිය සමග ශ්‍රී ලංකාවට දේශපාලනමය වශයෙන් ප්‍රතිවිරෝධතා පැවති නමුත් ශ්‍රී ලංකාවේ සහ තමිල්නාඩුවේ ධීවරයන් මුහුණ දෙන ගැටලූ විසදා ගැනීමේදී මානුෂිකව මැදිහත් විය යුතුය යන්න ඇයගේ ස්ථාවරය වූ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර