ස්ත්‍රී දූෂකයන්ට එරෙහි ලෙබනන් කාන්තාවෝ පාර්ලිමේන්තුව ඉදිරියේ

Image caption ස්ත්‍රී දූෂකයන්ට එරෙහිව නැගෙන කාන්තා හඬ

ලේ පැල්ලම් සහිත විවාහ මංගල ඇඳුමින් සැරසුණ ලෙබනන් කාන්තාවන් කණ්ඩායමක් 'බේරුත්' අගනුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට සංකේතාත්මක විරෝධතා ව්‍යාපාරයක නිරතවෙමින් සිටියහ.

එම කාන්තා විරෝධතා ව්‍යාපාරය දියත් කෙරුණේ, ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් බලපැවැත්වෙන මතභේදයකට ලක්ව ඇති නීතියක් පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනෙමින් පවතින අතරයි.

ලෙබනන් පාර්ලිමේන්තු කමිටුවක් එරට අපරාධ නීති සංග්‍රහයේ 522 වගන්තිය අහෝසිකළ යුතුද නැද්ද? යන්න පිළිබඳව සළකා බලමින් ඇති අතර ඒ සම්බන්ධයෙන් අද බදාදා තීන්දුවක් ගැනීමට නියමිතව තිබුණි.

ස්ත්‍රී දූෂකයෙක් තමාට ගොදුරු වූ කාන්තාවක් විවාහ කරගනු ලබන්නේනම්, එම අපරාධයට එරෙහිව නඩු පවරනු ලැබීමෙන් බේරීමට ලෙබනන් දණ්ඩ නීති සංග්‍රහයේ එකී 522 වගන්තිය අනුව එම පුද්ගලයන්ට අවස්ථාව ලැබෙයි.

Image caption ළමා දූෂකයන් ඔවුන් විසින් ගොදුරු කරගනු ලැබුණ දැරියන් විවාහ කරගැනීමේ ඇතුල්පැත්ත පිළිබඳව සමාජය දැනුවත් කිරීමක්

ස්ත්‍රී දූෂකයන්ට ගොදුරුවූ කාන්තාවන්ට තමන් ගොදුරු කරගත් අපරාධකරුවන් අධිකරණය ඉදිරියට ගෙන ඒම සඳහා ඇති අයිතිය එම වගන්තිය මගින් අසුරා ඇති බව අද(07) විරෝධතා ව්‍යාපාරයේ නිරතව සිටි කාන්තාවෝ පෙන්වා දුන්හ.

බාලවයසේ දැරියන් සමඟ ලිංගික සම්බන්ධතා පවත්වා ඇති පුරුෂයන් එම දැරියන් විවාහ කරගැනීමට එකඟ වන්නේනම්, ඒ සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සැලසීමට කෙටුම්පත් කළ වැඩපිළිවෙලක් අත්හැර දැමීමට තුර්කි ආණ්ඩුවට පසුගිය මාසයේ සිදුවිය.