මුස්ලිම් දරුවන්ට විකල්ප කාටූන්

Barakah Hills has been marketed as an alternative to Peppa Pig Image copyright One4Kids
Image caption 'පෙපා පිග්' කාටූන් වැඩසටහනට විකල්පයක් වශයෙන් 'බරාකා හිල්ස්' කාටූන් පෙළ නිර්මාණය කෙරේ

ප්‍රධාන ධාරාවේ කාටූන් වැඩසටහන් වෙනුවට මුස්ලිම් දරුවන් වෙනුවෙන් වඩාත් යෝග්‍ය විකල්ප කාටූන් වැඩසටහන් නිෂ්පාදනය විය යුතු බව ඕස්ට්‍රේලියාවේ ඉස්ලාමීය නායකයෙක් පවසයි.

ඉස්ලාමීය හර පද්ධති අගය කෙරෙමින් නිෂ්පාදනයවන කාටූන් වැඩසටහන් සඳහා මූල්‍යාධාර ලබා දෙන ලෙස ඕස්ට්‍රේලියාවේ ජාතික ඉමාම්වරුන්ගේ සංගමයේ ප්‍රධානී ෂේක් ශේදී අල් සුලෙයිමාන් ඉස්ලාමීය දෙමව්පියන් වෙත යෝජනා කරයි.

මුස්ලිම් දරුවන් වෙනුවෙන් නිෂ්පාදනය කෙරෙන එවැනි කාටූන් වැඩසටහනකි 'බරාකා හිල්ස්'.

දැවැන්ත සාර්ථකත්වයක් ළඟා කර ගත් 'පෙපා පිග්' කාටූන් වැඩසටහනට විකල්පයක් වශයෙන් 'බරාකා හිල්ස්' කාටූන් පෙළ මුස්ලිම් දරුවන් අතර ප්‍රචලිත කිරීම එහි නිෂ්පාදකයන්ගේ අරමුණ වී තිබේ.

'පෙපා පිග්' යනු බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කෙරෙන පෙර පාසල් දරුවන් ඉලක්ක කර ගත් කාටූන් වැඩසටහන් මාලාවකි.

කුඩා දරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය 'පෙපා පිග්'කාටූන් වැඩසටහන ලොව පුරා රටවල් එකසිය අසූවක විකාශනය කෙරේ.

මෙම වැඩසටහන් මාලාව පාදක වන්නේ 'පෙපා'නමැති ඊරියකගේ චරියාව විවරණය කරමිනි.

මානව තත්වයක් ආරෝපණය කරමින් පෙපාගේ චරිතය ගොඩ නංවා තිබේ.

පෙපාගේ ඌරූ පවුල සහ එම පවුලේ මිතුරු මිතුරියන් ගේ චරිතත් ගොඩ නැංවෙන්නේ එවැනි පදනමකිනි.

මෙම වෘතාන්තයට ඌරන් හැරුණු කොට පෙපාගේ වයසේ තවත් ක්ෂීරපායි සතුන් ද ඇතුළත්.

'බරාකා හිල්ස්'කාටූන් වැඩසටහනේ නිෂ්පාදන කටයුතු ඇරඹීම සඳහා ඇමරිකානු ඩොලර් පහළොස් දහසක මුදලක් රැස් කිරීමට ඉස්ලාමීය හර පද්ධතීන් තේමාව කර ගත් ළමා වැඩසටහන් නිර්මාණය කරන 'One4Kids'රූපවහිනී නිෂ්පාදන සමාගම බලාපොරොත්තු වෙයි.

"සිය ප්‍රජාව තුළ යහපත් පුරවැසියකු සේ ජීවත් වනවා සේම මුස්ලිම් හර පද්ධතිවලට අනුව ජීවත් වන්නේ කෙසේදැයි යන්න දරුවන්ට ඉගැන්වීම ප්‍රධාන ඉලක්කයයි" One4Kids රූපවහිනී නිෂ්පාදන සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

කෙසේ වෙතත් ප්‍රධාන ධාරාවේ කාටුන් වැඩසටහන් නැරඹීමට දරුවන් දක්වන උනන්දුවට බාධා නොකළ යුතු බව පවසන ෂේක් ශේදී අල් සුලෙයිමාන් ඔවුන් වෙත විකල්ප කාටූන් හඳුන්වා දෙන ලෙස දෙමව්පියන් වෙත යෝජනා කරයි.

Image copyright PA
Image caption 'පෙපා පිග්' යනු බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කෙරෙන පෙර පාසල් දරුවන් ඉලක්ක කර ගත් කාටූන් වැඩසටහන් මාලාවකි

යාඥා කිරීම, මුහම්මද් නාභි නායකතුමා ජීවිතය අලලා ලියැවුණු කතන්දර, රාමදාන් චාරිත්‍ර සහ ආරාබි බස ඉගැන්වීම ඉලක්ක කර ගනිමින් සිඩ්නි නගරය මූලස්ථානය කරගත් 'One4Kids' රූපවහිනී සමාගම කාටූන් වැඩසටහන් නිර්මාණය කරයි.

එම සමාගමේ නිෂ්පාදකයෙක් වශයෙන් කටයුතු කරන සුභී අල්ශේක් බීබීසීයට අදහස් දක්වමින් කියා සිටියේ තමන් 'පේපා පිග්' කාටූන් වැඩසටහන රස විඳින නමුත් ඉන් දරුවන්ට අයහපත් බලපෑමක් එල්ල වන බවය.

"දකින්නට ලැබෙන විදිහට දරුවන් මුරණ්ඩු කරනවන පණිවුඩ පෙපා පිග් කාටූන් තුළ අඩංගුයි. නමුත් මුස්ලිම්, මුස්ලිම් නොවන, ඌරන්ට වෛර කරන, ඌරන්ට ආදරය කරන වෙනත් බොහෝ අය මෙන් මමත් පෙපා පිග් රසිකයෙක්.'' යනුවෙන් කී ඔහු කෙසේ නමුත් 'පෙපා පිග්' වෙනුවට විකල්ප වැඩසටහනක් හඳුන්වා දිය යුතු බව පවසයි.

"එදිනෙදා ජීවිතය අලලා සැකසුනු විකල්ප කාටූන් වැඩසටහනක් නිෂ්පාදනය කළ යුතු බව අප සිතුවා. අපිට පෙපා පිග් වැඩසටහනට සමාන වෙනත් වැඩසටහනක් නිර්මාණය කරන්න බැරි ඇයි?" ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඕස්ට්‍රේලියානු ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව එරට ජන ගහනයෙන් 2.2% ක් මුස්ලිම් ප්‍රජාවට අයත් වෙති.

තමන් ක්‍රිස්තියානු භක්තිකයන් වශයෙන් හඳුන්වා ගනු ලබන පිරිස එරට ජන ගහනයෙන් 61.1% කි.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්