පාකිස්තානය ATR යානා ගුවනින් ඉවත්කරයි

  • 2016 දෙසැම්බර් 12
Image caption ATR යානයක් පාකිස්තාන් ගුවන්තොටක

යුරෝපයේ නිෂ්පාදිත ATR යානා පියාසර කරවීම නතර කිරීමට පියවර ගත්බව පාකිස්තාන් ජාත්‍යන්තර ගුවන් සේවය නිවේදනය කරයි.

එවැනි තීන්දුවක් ගනු ලැබුණේ ATR-42 යානයක් අනතුරට ලක්වීමෙන් අනතුරුව බවත් එම ගුවන් සේවය පවසයි.

එම යානය පසුගිය සතියේ දිනක චිත්‍රාල් නගරයේ සිට ඉස්ලාමාබාද් අගනුවර කරා පියාසර කරමින් තිබියදී 'ඇබටාබාද්' නගරය අසලදී කඩා වැටුණි.

එම අනතුරින් යානයේ ගමන් ගනිමින් සිටි සියලුම මගීන් ජීවිතක්ෂයට පත්විය.

මේඅතර පාකිස්තාන් ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් තවත් ATR යානයක් ඊයේ ඉරිදා(11) 'මුල්තාන්' නගරයෙන් ගුවන් ගැනීමට ආසන්න මොහොතේ යාන්ත්‍රික දෝෂයක් හසුවීමෙන් එම ගුවන් ගමන අවලංගු කරන ලද බවක්ද ප්‍රකාශයට පත් කෙරුණි.

Image caption 'ඇබටාබාද්' නගරය අසලදී කඩාවැටුන යානයේ සුන්බුන්

මෙම තත්වය යටතේ අදාළ පරීක්ෂණ සම්පූර්ණ කෙරෙනතෙක් එම වර්ගයේ යානා සියල්ලම ගුවන්ගත කරනු ලැබීම අත්හිටවනු ඇත.

සීයකට අධික රටවල යුරෝපයේ නිෂ්පාදිත ATR වර්ගයේ යානා දෙසීයකට අධික සංඛ්‍යාවක් ගුවන්ගමන් සඳහා යොදාගැනෙයි.

ATR යානා ප්‍රංශ-ඉතාලි හවුල් නිෂ්පාදනයකි.