සතුට සල්ලිද? මානසික සුවයද?

Image copyright Thinkstock

සහකරුවකු හෝ සහකාරියක සමග ජීවිතය ගත කිරීම සහ සෞඛ්‍යමත් මානසික මට්ටමක් පවත්වා ගැනීම තුළින් සිය වේතනය දෙගුණ වනවාට වැඩි සතුටක් පුද්ගලයෙකුට ලැබිය හැකි බව විද්‍යාත්මක සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

'ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකනොමික්ස්' හි පර්යේෂණ කණ්ඩායමක් විසින් ලක්ෂ දෙකකට අධික පිරිසක් සහභාගී කරවා ගනු ලැබූ මෙම සමීක්ෂණයෙන් පුද්ගලයෙකුට ජීවිතයේ සතුටක් ලබා දෙන විවිධ හේතු සාධක අධ්‍යනය කොට ඇත.

මානසික ආතතිය, විෂාදය සහ සාංකාව තනිවම ජීවිතය ගත කරන පුද්ගලයන්ගේ සතුටට තදින්ම බලපෑම් එල්ල කරන අතර සහකාරියක හෝ සහකරුවෙකු සමග ජීවිතය බෙදා හදා ගන්නා පුද්ගලයන්ට එම තත්වයෙන් බොහෝ විට මිදී සිටීමේ හැකියාව ඇති බව සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.

මෙම සමීක්ෂණයට ලෝකයේ විවිධ රටවල සිදු කරන ලද මීට සමාන පර්යේෂණ වල ප්‍රථිපල ද පාදක කොට ගෙන තිබීම ඉතා විශේෂ බව පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙයි.

පුද්ගලයෙකුගේ වේතනය දෙගුණ කිරීමෙන් ඔහු ලබන සතුට 0.2/10 ක ප්‍රමාණයක් පමණක් වන අතර බොහෝ විට මිනිසුන් සිය වේතනය තවත් පුද්ගලයෙකු ලබන වේතනය සමග සැසඳීමට උත්සාහ කරන බැවින් ලැබෙන වැටුප ඉහළ යාම මගින් සිය ජීවිතයට අත් කරගත හැකි වෙනස මග හැරෙන බව පර්යේෂණ කණ්ඩායම පැහැදිලි කරයි.

කෙසේ වෙතත් තනිව ජීවිතය ගත කරන පුද්ගලයෙකුට සහකාරියක හෝ සහකරුවෙකු හමු වීම 0.6/10 මට්ටමේ සතුටක් ජනිත කෙරෙන අතර එමගින් මානසික සෞඛ්‍යයට ද විශාල සාධනීය වෙනසක් ඇති කරන බව සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.