සෝවියට් දේශය බිඳ වැටුනේ පාවාදීම් නිසා - ගොර්බචෝෆ්

25 Dec 1991: Mikhail Gorbachev resigns dramatically on state TV - and the USSR is no more Image copyright AFP
Image caption 1991 දෙසැම්බර් 25 වැනි දින රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ සිය ඉල්ලා අස්වීම නිවේදනය කරන මිහායිල් ගොර්බචෝෆ්

1991 දී සෝවියට් දේශය බිඳ වැටුනේ පාවාදීම් හේතුවෙන් බව සෝවියට් දේශයේ අවසාන නායකයා වන මිහායිල් ගොර්බචෝෆ් පවසයි.

සෝවියට් දේශය බිඳ වැටීමෙන් වසර විසි පහක් ගතවීම නිමිති කොට ගෙන බීබීසීය සමග විශේෂ සාකච්ඡාවකට එක් වූ 85 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා, රුසියාවේ නායකයන් කුපිත කරවන බවට බටහිර රටවලට චෝදනාවක්ද එල්ල කළේය.

1991 දෙසැම්බර් 25 වැනි දින සෝවියට් දේශය ඉතිහාස පොතට එක් වූයේ බල තණ්හාවෙන් පෙළුන කණ්ඩායමක පාවාදීම් හේතුවෙන් බව ඔහු අවධාරණය කරයි.

"මගේ පිටිපස්සේ ඉඳගෙන මාව පාවල දුන්නා," ඔහු පැවසීය.

Image copyright AFP
Image caption 1987 දී එවකට එක්සත් ජනපද ජනාධිපති රොනල්ඩ් රේගන් සමඟ න්‍යෂ්ඨික නිරවිකරණ ගිවිසුමට අත්සන් තබමින්

"සිගරට්ටුවක් පත්තු කරගන්න ඔවුන් මුළු නිවසටම ගිනි තිබ්බා. බලය අත්පත් කරගන්න. ඔවුන්ට ඒක ප්‍රජාතන්ත්‍රවාදීව කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඉතින් ඔවුන් අපරාධයකට යොමු වුනා. ඒක කුමන්ත්‍රණයක්."

ඒ අවස්ථාවේ සෝවියට් දේශය 'සිවිල් යුද්ධයක් කරා යමින් සිටි' බැවින් එය වැළැක්වීම සිය අභිප්‍රාය වූ බවත් ඔහු සඳහන් කළේ මොස්කව් නුවර සිටින බීබීසී වාර්තාකරු ස්ටීව් රොසෙන්බර්ග් සමඟ ඉතා දුර්ලභ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

"න්‍යෂ්ඨික ආයුධ ඇතුළු ආයුධවලින් පිරුණු අපේ වගේ රටක බෙදීමක් ඇති වුනා නම් කොයිතරම් ජීවිත හානියක් වෙන්න තිබුනද? බලයේ රැඳිලා ඉන්න එහෙම දෙයක් කරන්න මට ඕන වුනේ නැහැ. ඉල්ලා අස්වීම මගේ ජයග්‍රහණයක්."

බටහිර ජනමාධ්‍ය දිගින් දිගටම රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් දැඩිව විවේචනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් රට තුල ඔහුගේ ජනප්‍රියත්වය එන්න එන්නම ඉහල යමින් පවතින බවත් මිහායිල් ගොර්බචෝෆ් පැවසීය.

බීබීසී යෙන්