වයස අවුරුදු 101 යි, ළමා අපචාරයට වැරදිකරු

Image copyright PA

එකසිය එක් හැවිරිදි වයෝවෘද්ධ පුරුෂයකු අතීතයේ කරන ලද ළමා අපචාරවලට වැරදිකරු බව බ්‍රිතාන්‍ය අධිකරණය තීන්දු කළේය.

බ්‍රිතාන්‍ය අධිකරණ ඉතිහාසය තුල චෝදනාවකට වැරදිකරු බව තීරණය කෙරුණු වයෝවෘද්ධම පුද්ගලයා ඔහු බව විශ්වාස කෙරේ.

1970 සහ 80 දශකයෙදී දැරිවියන් දූෂණය කිරීමේ චෝදනා විසි එකකට බර්මින්හැම් ප්‍රදේශයේ පදිංචි රැල්ෆ් ක්ලාක් වැරදිකරු බව ජූරි සභාව තීන්දු කළේය.

පිරිමි ළමයකු ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනා නමයකට වැරදිකරු බව නඩු විභාගය අතරවාරයේ රැල්ෆ් ක්ලාක් පිළිගත්තේය.

විශ්‍රාමික ලොරි රියදුරකු වන රැල්ෆ් ක්ලාක්ට ලබන සඳුදා දඬුවම් නියම කිරීමට නියමිතයි.

ක්ලාක් විසින් තමන් දූෂණය කළ බව, පසුගිය අගෝස්තු වසරේ අගෝස්තු මාසයේ ඔහුගෙන් අතවරයට ලක්වූ දෙදෙනකු පොලිසියට පැමිණිළි කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගන්නා ලද බව පැමිණිල්ලේ නීතිවේදිනිය වන රාජනීතිඥ මිරින්දා මූර් නඩු විභාගය ආරම්භයේ දී අධිකරණයට දන්වා සිටියාය.

පාසල් ශිෂ්‍යයා අපයෝජනයට සම්බන්ධ චෝදනා පිළිගත් විත්තිකරු සඳහන් කළේ ඒ පිළිබඳව වර්තමානයේ ඔහුට 'කිසිම හැඟීමක් නොදැනෙන' බවයි.

බරපතළ ලිංගික අපරාධ දෙකකට උත්සාහ කිරීම, ළමා අපචාර චෝදනා දෙකක් සහ පිරිමි ළමයකු අපයෝජනය කිරීමේ සිදුවීම් පහකට වැරදිකරු බව විත්තිකරු ජුරි සභාව හමුවේ පිළිගත්තේය.