ඉන්දියාව: "පොලිස් අත්අඩංගුවේ සිටියදී සිය ගණනක් මරුට"

File picture of India prison
Image caption රෝගාතුර වීම, පැන යාමට උත්සාහ කිරීම, සිය දිවි නසා ගැනීම සහ හදිසි අනතුරු අදාළ මරණවලට හේතු වී ඇති පොලිසිය පවසයි

2010 - 2015 කාල සීමාව තුළ ඉන්දියාවේ හයසියකට ආසන්න පිරිසක් පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගොස් ඇති බව ඇමරිකාව මූලස්ථානය කර ගත් හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවිධානය පවසයි.

අදාළ මරණ සම්බන්ධයෙන් එකඳු පොලිස් නිලධාරියෙකු හෝ වරදකරු කර නොමැති බව හියුමන් රයිට්ස් වොච් ආයතනය විසින් නිකුත් කරන ලද වර්තාවක දැක්වේ.

රෝගාතුර වීම, පැන යාමට උත්සාහ කිරීම, සිය දිවි නසා ගැනීම සහ හදිසි අනතුරු අදාළ මරණවලට හේතු වී ඇති බව පොලිසිය පවසයි.

කෙසේ නමුත් මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ අත්අඩංගුවට පත් සැකකරුවන් වධහිංසාවට ලක් කිරීම එවැනි මරණ බොහොමයකට හේතු වී ඇති බවය.

"පාපොච්චාරණය කිරීම සඳහා සැකකරුවන්ට පහර දීම පිළිගත නොහැකි බව ඉන්දියාවේ පොලිසිය ඉගෙන ගන්නේ වධහිංසා කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට එරෙහිව නඩු පැවරුවොත් පමණයි." හියුමන් රයිට්ස් වොච් ආයතනයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂිකා මීනක්‍ෂි ගංගුලි පවසන්නීය.

නීතියට අනුව, අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවෙකුම වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ යුතු අතර පැය විසි හතරක් ඇතුළත මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියට පැමිණවිය යුතුය.

සබැඳි විෂයයන්

බීබීසී යෙන්