සුවඳ සබන් දියරයක් පානය කළ හතළිස් අට දෙනකු මරුට

  • 2016 දෙසැම්බර් 19

සුවඳ සබන් දියරයක් (Bath Lotion) පානය කිරීමෙන් රුසියාවේ පුද්ගලයන් හතළිස් අට දෙනකු මරණයට පත් වී ඇති බව එරට බලධාරීහු පවසති.

රුසියාවේ පොලිස් පරීක්ෂණ කමිටුව පෙන්වා දෙන්නේ මරණයට පත් වූ පිරිස මෙම සබන් දියරය මත්පැන් සේ සලකා පානය කර ඇති බවය.

අදාළ සබන් දියරය පානය කිරීමෙන් සති අන්තය පුරා ඉර්කුත්ස්ක් නගරයේ පනස් දෙනෙකු රෝහල් ගත කරනු ලැබ ඇත.

අධික ප්‍රතිශතයක් මෙතනෝල් අඩංගු දියරය ඇතුළත් බෝතලයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු බව ඉතා පැහැදිලිව සටහන් කොට තිබුනත් එම අවවාදය නොසලකා හැර ඇති බව පොලිස් පරීක්ෂණ කමිටුව පවසයි.

මරණ වලට සම්බන්ධ බවට සැක පිට දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ සබන් දියර නිෂ්පාදනය වෙළඳපොලෙන් ඉවත් කිරීමට මේ වන විට රුසියානු බලධාරීහු පියවර ගනිමින් සිටිති.

ගේ දොර පිරිසිදු කිරීමට යොදා ගන්නා මෙතනෝල් අඩංගු දියර වර්ග පැරණි සෝවියට් සංගමයේ මත්පැන් වෙනුවට භාවිත කළ ලාභදායක විකල්පයක් විය.