මුහුදේදී මියගිය සංක්‍රමණිකයන් ගණන පන්දහස ඉක්මවයි

Image copyright AFP
Image caption සරණාගතයින් සඳහා දේශපාලන රැකවරණ ලබා දීමේ වැඩපිළිවෙළ පහසු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය අදාළ රටවල්වල ඉල්ලීමක් කර ඇත.

මෙම වසරේදී මධ්‍යධරණි මුහුද හරහා යුරෝපයට ඇතුල්වීමට උත්සාහ දැරීමේදී දියේගිලී මියගිය සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව පන්දහස ඉක්මවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එම සංවිධානය වැඩිදුරටත් කියා සිටියේ මෙම සංඛ්‍යාව මෙතෙක් මුහුදේදී අනතුරට පත්වීමෙන් මියගිය සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව බවයි.

ඉතාලි වෙරළ ආසන්නයේ පසුගිය බ්‍රහස්පතින්දා නැව් දෙකක් අනතුරට පත්වී අනූවකට අධික සංක්‍රමණිකයින් පිරිසක් දියේ ගිලීගිය බව වාර්තා වීමත් සමග මෙතෙක් පැවති මරණ සංඛ්‍යාව මෙසේ ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් සඳහා වන ආයතනයේ ප්‍රකාශකයෙක් වන විලියම් ස්පින්ඩ්ලර් ප්‍රකාශකළේය.

"ඊයේ සිදුවූ අනතුරින් මධ්‍යධරණි මුහුදේ සියයකට අධික පුද්ගලයන් පිරිසක් ගිලී ඇති බවට අපිට බියක් තිබෙනවා. ඉතාලි වෙරළාරක්ෂක හමුදාව, එම මුහුදු තිරයේ බේරා ගැනීමේ මෙහෙයුම් හතරක් දියත් කලා. මේ අනුව මේ අවුරුද්දේ පන්දහසකට අධික පුද්ගලයන් පිරිසක් මධ්‍යධරණි මුහුදේ මියගොස් තිබෙන බව අපිට වාර්තාවෙනවා" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර සරණාගතයින් සඳහා දේශපාලන රැකවරණ ලබා දීමේ වැඩපිළිවෙළ, පහසු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය අදාළ රටවල්වල ඉල්ලීමක් කර ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර