ලොවෙන් තුරන්වන චීටාවෝ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මිහිමතින් තුරන්වෙමින් පවතින චීටාවෝ

චීටා ගහනය ශීඝ්‍රයෙන් අඩුවීමේ ප්‍රතිඵලයක් වශයෙන් එම සත්ව විශේෂය මිහිමතින් තුරන්ව යෑමේ බරපතළ අවදානමක් පවතින බව අධ්‍යනයකින් හෙළි වී තිබේ.

ලොව වේගවත්ම ක්ෂීරපායී සත්වයාවන චීටාවන් ලොව පුරාම ඉතිරිව සිටින්නේ 7100 ක් පමණක් බව පවසන අධ්‍යයන වාර්තාව, චීටාවන් ආහාර සොයා මිනිස් වාසභූමි කරා පැමිණීම හේතුවෙන් චීටා - මිනිස් ගැටුම උග්‍ර වී ඇති බව පෙන්වා දෙයි.

එබැවින් දැනට 'අවදානම් සහගත තත්වයක් ලෙසින්' පවතින වර්ගීකරණය 'වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින' යනුවෙන් වෙනස් කරන මෙන්ද පර්යේෂකයෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

"දහසය වසරක් ඇතුලත සිම්බාබ්වේ හි චීටා ගහනය 1200 සිට 170 දක්වා අඩු වී තිබෙනවා. ආසියාවේ චීටාවන් සම්පූර්ණයෙන්ම පාහේ වඳ වී ගිහින්," පරිසර කටයුතු පිළිබඳ බීබීසී වාර්තාකරු මැට් මැක්ග්‍රාත් පවසයි.

"ආසියානු චීටාවන් තවත් ඉතිරිව සිටින්නේ 50 ක් පමණයි. ඒ ඉරානයේ."

ආසියානු චීටාවන්

Image copyright ZSL

මේ අධ්‍යයනයට අනුව ලොව ඉතිරිව සිටින චීටාවන් අතරින් අඩකට වැඩි පිරිසක් දැන් වාසය කරන්නේ දකුණු අප්‍රිකානු කලාපයේ රටවල් හයක විසිරී සිටින එක් චීටා ගහනයක් ලෙසින්ය.

වාර්තාවේ ප්‍රධාන කතුවරිය, ලන්ඩනයේ සත්ව විද්‍යා සංගමයේ ආචාර්ය සේරා ඩුරන්ට් අදහස් දක්වමින්, "මේ සතාගේ රහසිගත හැසිරීම් ස්වභාවය නිසා, චීටාවන් ගැන නිසි තොරතුරු සොයාගැනීම ඉතාම දුෂ්කරයි," යනුවෙන් පවසන්නීය.

"ඔවුන් මුහුණ දීල ඉන්න සැබෑ තර්ජනය අවධානයට පාත්‍ර නොවීමට ඒක ප්‍රධානම හේතුවක්."

ඔවුන් එක් ප්‍රදේශයකට කොටු වී නොසිටීම චීටාවන් මුහුණ දෙන මේ තර්ජනයට තවත් ප්‍රධාන හේතුවකි.

ආරක්‍ෂිත වනෝද්‍යානවලින් ඔබ්බට යමින් මිනිස් වාස භූමි ඇතුළු ප්‍රදේශවල සැරිසැරීම චීටාවන්ගේ සිරිතකි. ඔවුන්ගේ වාසභූමිවලින් 77 % ක් පමණම තිබෙන්නේ ආරක්‍ෂිත වනෝද්‍යානවලට ඔබ්බෙනි.

චීටා - මිනිස් ගැටුම

Image copyright ZSL

එහෙත් මිනිස් වර්ගයාගේ වාසය සහ ආහාර අවශ්‍යතා වෙනුවෙන් නිරන්තරයෙන් කැලෑ එලි කිරීම හේතුවෙන් ඔවුන්ගේ වාසභූමි ක්‍රමයෙන් කුඩාවෙමින් පවතී.

මෙලෙසින් චීටාවන් මුහුණදෙන තර්ජන කාලාන්තරයක් මුළුල්ලේ කිසිවකුගේත් අවධානයට පාත්‍ර නොවූ බවයි පර්යේෂකයන් පවසන්නේ.

"චීටාවන්ට වාසය සඳහා ඉතා විශාල භූමි ප්‍රදේශයක් අවශ්‍ය වීම වගේම ඔවුන් මුහුණ දෙන ඉතා සංකීර්ණ තර්ජන නිසා මීට කලින් සිතා සිටියාට වඩා චීටාවන් අති බරපතළ තර්ජනයකට මුහුණ දී සිටින බව අපේ පර්යේෂණවලින් හෙළි වෙලා තියෙනවා," ආචාර්ය සේරා ඩුරන්ට් පවසන්නීය.

එමෙන්ම ගල්ෆ් කලාපීය රටවල දී චීටා පැටවකු ඩොලර් දස දහසක් දක්වා වූ මුදලකට අලෙවි කළ හැකිවීම චීටාවන් වඳවීමට තවත් ප්‍රධාන හේතුවක් බව බීබීසී වාර්තාකරු මැට් මැක්ග්‍රාත් පෙන්වාදෙයි.

"දකුණු අප්‍රිකානු රටවල දැනට ඉතිරිව සිටින සතුන් මේ තර්ජනයට මුහුණ පා සිටින්නේ දඩයම් සොයාගෙන ආරක්‍ෂිත ප්‍රදේශවලින් ඔබ්බට යාම හේතුවෙන්. ඒ නිසා ඔවුන් දිගින් දිගටම ගොවියන් සමග ගැටුමකට මුහුණ දෙනවා. ගොවියන් චීටාවන් දකින්නේ තමන්ගේ සතුරන් විදියට. ඒ වගේම ගල්ෆ් රටවල් ඉල්ලුම සැපිරීම සඳහා සිදු කෙරෙන නීතිවිරෝධී චීටා පැටවුන් ජාවාරම ඔවුන් මුහුණ දෙන තවත් තර්ජනයක්," ඔහු පවසයි.

ජාවාරම්

Image copyright ZSL

ගතව ගිය දස වසර තුල පමණක් මේ ආකාරයෙන් චීටා පැටවුන් 1200 ක් නීති විරෝධී ලෙසින් අප්‍රිකාවෙන් රැගෙන ගොස් ඇති අතර, එයින් 85 % කම ඒ ගමනේදී මියගොස් ඇති බව Cheetah Conservation Fund සංවිධානය පවසයි. .

මේ නීතිවිරෝධී ජාවාරමට වට බැඳීම පිණිස නව පියවර ගන්නා බවට දකුණු අප්‍රිකාවේ පැවති ජාත්‍යන්තර සමුලුවකදී එයට සහභාගි වූ රටවල් එකඟත්වයකට පැමිණියහ.

එහෙත් චීටාවන් පෘථිවි තලයෙන් සම්පූර්ණයෙන්ම වඳවී යාම වලක්වා ගැනීමට නම් ඉතා ඉක්මනින් තවත් බොහෝ පියවර ගත යුතුබව තිබෙන බව පරිසරවේදීහු අවධාරණය කරති.

සබැඳි විෂයයන්