තහනම් උත්තේජක ලබාදීම 'ආයතනික කුමන්ත්‍රණයක්' - රුසියාව

Image caption රුසියාවේ තහනම් උත්තේජක ගැටලුව පිලිබඳ විසඳුම් සෙවීම පිණිස ජනාධිපති පුතින් විසින් විටෝලි ස්මිර්නොව් පත්කරනු ලැබ ඇත

රුසියානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහනම් උත්තේජක ලබාදීමේ පුළුල් මෙහෙයුමක් සිදුකෙරුණු බව රුසියානු නිලධාරීන් විසින් පළමුවරට පිළිගනුලැබ තිබේ.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සමග පැවති සාකච්ඡාවකදී තහනම් උත්තේජක පිලිබඳ රුසියානු නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වන ඇනා ඇන්ට්සිලියෝවිච් පැවසුවේ එය 'ආයතනික කුමන්ත්‍රණයක්' බවය.

කෙසේවුවද, තහනම් උත්තේජක වැඩසටහන රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවූ බවට නැගෙන චෝදනාව රුසියානු නිලධාරීහු ප්‍රතික්‍ෂේප කළහ.

මේ මස මුලදී ලෝක තහනම් උත්තේජක විරෝධී නියෝජිත ආයතනය මේ සිදුවීම සම්බන්ධව පරීක්‍ෂණ පැවැත්වීම සඳහා නිලධාරියෙකු පත්කළ අතර රුසියානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක භාවිතා කළ බවට සාක්‍ෂි විශාල ප්‍රමාණයක් ඔහු විසින් ප්‍රසිද්ධියට පත්කරනු ලැබ තිබුණි.

තහනම් උත්තේජක භාවිතාකළ බවට පළවූ පළමු වාර්තාව හේතුවෙන් බොහෝ රුසියානු රුසියානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රියෝ ඔලිම්පික් තරඟාවලියට සහභාගීවීම තහනම් කෙරිණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර