සසිකලා: තමිල්නාඩු දේශපාලනයේ "අලුත් අම්මා"

Image copyright PTI
Image caption සසිකලා සහ ජයලලිතා

තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිනිය ජයලලිතා ජයරාම්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් (ADMK) පක්‍ෂයේ මහ ලේකම් තනතුරට සසිකලා නටරාජන් තේරීපත් වෙයි.

තුන් දශකයකට ආසන්න කාලයක් තිස්සේ ජයලලිතාගේ විශ්වාසනීය මිතුරිය වූ සසිකලා ප්‍රසිද්ධියට පත්ව සිටියේ "චින්නම්මා" (පුංචි අම්මා) යන නාමයෙනි.

Image copyright PTI
Image caption සසිකලා දේශපාලන වේදිකාවේ ද නිතර පෙනී සිටියාය

මධ්‍යම පාන්තික පවුලක උපන් සසිකලා සිය දිවියේ මුල් කාලය තන්ජාවුර් දිස්ත්‍රික්කයේ ගත කළාය.

තම ස්වාමි පුරුෂයාගේ රැකියාව අහිමිවීමෙන් අනතුරුව පවුල නඩත්තුකිරීම සඳහා ඇය වීඩියෝ පට කුලියට දෙන වෙළඳ සැලක් ආරම්භ කළාය.

මේ අතරතුර හිතවතෙකු මාර්ගයෙන් ජයලලිතා හඳුනාගැනීමට සසිකලාට අවස්ථාව උදාවිය.

Image copyright Getty Images
Image caption ජයලලිතාගේ අවසන් කටයුතු පවා සංවිධානය කළේ සසිකලාය

අනතුරුව ඇය වීඩියෝ කැසට් පට ලබාදීම සඳහා නිතර නිතර ජයලලිතාගේ නිවසට ආගිය අතර මෙය සමීප මිතුදමක් දක්වා වර්ධනය විය.

1980න් පසු සසිකලා සිය ස්ථිර පදිංචිය සඳහා තෝරා ගත්තේ ජයලලිතාගේ නිවෙසය.