නිර්පාක්ෂික අපේක්ෂකයා සොරකම් කරලා - සරත් විජේසුරිය
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විධායක ජනපති: ශ්‍රීලනිප තීරණයට සිවිල් සමාජ අප්‍රසාදය

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දුව කඩ කරමින් ඔහු නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ධුරය පවත්වාගෙන යායුතු බවට ගනුලැබූ තීරණය පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය සිය දැඩි අප්‍රසාදය පළ කරයි.

එම ව්‍යාපාරය පෙන්වා දෙන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ මූලික පොරොන්දුව මත පසුගිය ජනාධිපතිවරණයේ දී එවක පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිගේ නායකත්වයෙන් යුතුවූ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහය දුන් බවය.

ඊයේ (08) බීබීසී වෙත අදහස් දැක්වූ අමාත්‍ය සරත් අමුණුගම, විධායක ජනාධිපතිධුරය එලෙසම පවත්වාගෙන යාමටත් 2020 වසරේ ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාම ඉදිරිපත් වියයුතු බවටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව කියා සිටියේය.

මේ පිලිබඳව බීබීසී වෙත ප්‍රකාශයක් කරමින් සාධාරණ සමාජයක් සඳහාවූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය ජනාධිපතිවරණයේ ප්‍රධාන ප්‍රතිඥාව ඉටු නොකළහොත් එය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දේශපාලන අනාගතය තීරණය කෙරෙන සාධකයක් වනබව පැවසීය.

"නිර්පාක්ෂික අපේක්ෂකයෙක් බලයට පත්වෙන්නේ ඒ ප්‍රතිඥාව උඩ. ඒ ප්‍රතිඥාව ඉටු නොකොළොත් ඒක එතුමාගේ දේශපාලන ජීවිතය තීරණය කරන සාධකයක්"

නීතිගරුක පුරවැසියන් පත්කළ නිර්පාක්ෂික අපේක්ෂකයා සොරකම් කර සිය න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බවට ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට චෝදනා කළේය.