මුල් පුටුවලට ඒමට පෙර රුසියාවට ඇඟිලි දිගු කරති

Image caption මයික් පොම්පියෝ (වම් පස) සහ විශ්‍රාමික ජෙනරල් ජේම්ස් මැටිස් (දකුණු පස)

රුසියාව තර්ජනයක් විය හැකි බව ඇමෙරිකාවේ ඉදිරි ට්‍රුම්ප් පාලනයේ ඉහළ තනතුරු දෙකක් සඳහා නම් කර ඇති දෙදෙනෙක් පවසති.

අදාළ පදවි තහවුරු කිරීම සඳහා පැවැත්වෙන සෙනෙට් කමිටු විමසීම්වලදී කරුණු දක්වමින් ආරක්ෂක ලේකම් තනතුරට නම්කර සිටින විශ්‍රාමික ජෙනරල් ජේම්ස් මැටිස් පැවසුවේ දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු එල්ලවී ඇති විශාලම ප්‍රහාරයට නේටෝ සංවිධානය මුහුණ පා ඇති බවය.

මොස්කව් පාලනය යුරෝපයට තර්ජනයක් එල්ල කර ඇති බව සීඅයිඒ හෙවත් මධ්‍යම ඔත්තු සේවයේ ප්‍රධානියා ලෙස නම්කර ඇති මයික් පොම්පියෝ ප්‍රකාශ කළේය.

'උමතු සුනඛයා'

සන්නද්ධ සේවා පිළිබඳ සෙනෙට් කමිටුව හමුවේ වැඩිදුරටත් අදහස් දක්වූ විශ්‍රාමික ජෙනරල් මැටිස්, රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුතින් නේටෝ සංවිධානයට අයත් ජාතීන් භේද කිරීමට උත්සාහ දරන බවත්, එයින් ආරක්ෂාවීමට පියවර ගතයුතු බවත් පෙන්වා දුනි.

'උමතු සුනඛයා' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ජෙනරල් මැටිස්ගේ නම ආරක්ෂක ලේකම් වශයෙන් තහවුරු වුවහොත් වසර පනහකට වැඩි කාලයකට පසු එම තනතුරට පත්වන ප්‍රථම හමුදා නිලධාරියා ඔහු වනු ඇත.

එහෙත් ඔහුගේ නම තහවුරු වීමට නම්, ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වය දැරීම සඳහා ඊට පෙර, හිටපු මාණ්ඩලික හමුදා නිලධාරියකු එම තනතුරෙන් ඉවත්වී අවම වශයෙන් වසර හතක් ගතවිය යුතු බවට ඇති නියමයට ව්‍යතිරේකයක් අනුමත කරගැනීමට සෙනෙට් කමිටුවට සිදුවනු ඇත.