ගිනි අවි නඩුවෙන් සල්මන් නිදහස්

Indian Bollywood actor Salman Khan attends the '61st Filmfare Awards 2016' ceremony in Mumbai on January 15, 2016 Image copyright Getty Images

නීතිවිරෝධීව ගිනි අවි සන්තකයේ තබා ගැනීමේ චෝදනාවෙන් බොලිවුඩ් නළු සල්මන් ඛාන් නිදොස් කිරීමට ඉන්දියාවේ ජෝද්පුර් නුවර අධිකරණය පියවර ගත්තේය.

වසර විස්සකට ඉහතදී, වඳවීමේ තර්ජනයට ලක්ව සිටින ඉන්දීය මුවන් වර්ගයක් (Black Bucks) මරා දැමීම සඳහා සල්මන් ඛාන් ගිනි අවි භාවිත කළ බවට එල්ල කළ චෝදනාව තහවුරු කිරීමට පැමිණිලි පාර්ශ්වයට නොහැකි වූ බව අධිකරණයේ නිගමනය විණි.

සියලු චෝදනාවලට තමන් නිවැරදිකරු බව කී සල්මන් ඛාන්, දඩයම් කිරීමට අදාළ නඩු දෙකකින් දැනටමත් නිර්දෝෂීකොට ඇත. එහෙත් ඔහුට විරුද්ධව ඇති හතරවෙනි නඩුව තවමත් විභාග වෙමින් පවතී.

1998 වසරේදී වන සංචාරයක ගිය අවස්ථාවේදී 'බ්ලැක් බක්ස්' නමින් හැඳින්වෙන ආරක්‍ෂිත ඇන්ටිලොප් වර්ගයට අයත් මුවන් දෙදෙනෙකු මරා දැමීම හා නීතිවිරෝධීව ගිනි අවි සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් සල්මන් ඛාන්ට චෝදනා එල්ල විය.

ඒ සම්බන්ධයෙන් සල්මන්ට එරෙහිව මුලින්ම නඩු පවරනු ලැබුවේ අදාළ මුව වර්ගයට ගරු බුහුමන් දක්වන, එම ප්‍රදේශයේ වෙසෙන 'බිෂෝයි' නම් වූ ප්‍රජාව විසිනි.

Image copyright Getty Images
Image caption මාවත්වාසී පුද්ගලයකු රිය අනතුරකට ලක්කර මරණයට පත්කිරීම සම්බන්ධයෙන් ද සල්මන් ඛාන්ට එරෙහිව ගොනු කෙරුණු නඩුවකින් 2015 වසරේදී නිදොස් කෙරුණ ද මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය එම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළේය.

2006 වසරේදී, දඩයම් කිරීම පිළිබඳ නඩු දෙකකට සල්මන් ඛාන් වරදකරු කළ අධිකරණයක් ඔහුට වසර පහක සිර දඬුවමක් පැණවීය.

එහෙත්, ඊට පසු වර්ෂයේදී අදාළ දඬුවම අත්හිටවූ රාජස්තාන් මහාධිකරණය, පසුගිය වසරේදී සල්මන් ඛාන්ව අදාළ චෝදනාවලින් නිදොස් කළේය.

කෙසේවෙතත්, එම තීන්දුවට එරෙහිව ප්‍රාන්ත රජය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකර ඇත.

මේ අතර, මාවත්වාසී පුද්ගලයකු රිය අනතුරකට ලක්කර මරණයට පත්කිරීම සම්බන්ධයෙන් ද සල්මන් ඛාන්ට එරෙහිව ගොනු කෙරුණු නඩුවකින් 2015 වසරේදී නිදොස් කෙරුණ ද මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය එම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළේය.

සබැඳි විෂයයන්

බීබීසී යෙන්