'ජල්ලිකට්ටු' තහනමට එරෙහි උද්ඝෝෂණ මතුවෙයි

ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රකට 'ජල්ලිකට්ටු' තරගය පැවැත්වීම වළකාලමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය පනවන ලද තහනම ඉවත්කරන ලෙස ඉල්ලමින් චෙන්නායි නුවර පුළුල් විරෝධතාවක් ක්‍රියාත්මක වේ.

දෙවෙනි දිනටත් අද පැවති විරෝධතාවට විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන්ගෙන් බොහෝදෙනා ශිෂ්‍යයෝ වෙති.

විරෝධතාකරුවන් තහනම හඳුන්වාදෙනු ලබන්නේ දෙමළ සංස්කෘතියට එලලවූ ප්‍රහාරයක් ලෙසිනි.

Image copyright Getty Images

ගවයකු පසුපස හඹාගොස් පොරබැදීම 'ජල්ලිකට්ටු' තරගයේදී සිදුවේ.

Image copyright Getty Images

මෙය කෘර ක්‍රියාවක් බවට හඳුන්වාදෙන සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකරන පෙටා (PETA ) නම්වූ කණ්ඩායම ද විරෝධතාකරුවන්ගේ විවේචනයට ලක්වී තිබේ.

කෙසේවෙතත්, අද (ජන.19) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි හමුවූ තමිල්නාඩු මහා ඇමති ඕ. පන්නීර්සෙල්වම් මතුවී ඇති තත්වය අවධානයට ලක් කළේය.

Image caption අගමැති නරේන්ද්‍ර මෝඩිගේ ට්විටර් පණිවූඩය

සංස්කෘතිකමය වශයෙන් ඇති වදකත්කම තමන් අගයකරන නමුත් ගැටලුව පවතින්නේ අධිකරණය හමුවේ බව අගමැති නරේන්ද්‍ර මෝඩි පෙන්වාදී ඇත.

Image caption යාපනයේ පැවති උද්ඝෝෂණය

මේ අතර 'ජල්ලිකට්ටු'තරග තහනමට එරෙහිව පැතිර යන විරෝධතාවට සහය දක්වමින් කොලිවුඩ් නළු නිළියන්ගේ සංගමය ද උපවාසයක යෙදීමට සුදානම් වෙමින් සිටී.

එසේම, ප්‍රකට ඉන්දීය සංගීතඥ ඒ. ආර්. රෙහ්මාන් ට්විටර් පණිවිඩයක් හරහා කියා සිටියේ විරෝධතාවලට සහය දක්වමින් හෙට දිනයේදී තමන් ද උපවාසයක නිරතවන බවය.

Image caption ඒ. ආර්. රෙහ්මාන්ගෙ ට්විටර් පණිවූඩය

ශ්‍රී ලංකාව, ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, සින්හප්පුරුව, මැලෙසියාව ඇතුළු රටවල් රැසක දෙමළ ජනතාව ද උද්ඝෝෂණවල යෙදුනාහ.