හිටපු ජනපති රට හැර යද්දී 'ඩොලර් මිලියන 11ක් අතුරුදහන්'

Image copyright Getty Images
Image caption ආර්යාවන් දෙදෙනෙකු හිමි හිටපු ජනපති යාය ජමෙහ්

ගැම්බියාවේ හිටපු ජනාධිපතිවරයා රට හැරයාමත් සමඟ එරට භාණ්ඩාගාරයේ තිබූ ඩොලර් මිලියන 11කට අධික මුදලක් අතුරුදහන්වී ඇතිබව නව ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙක් චෝදනා කරයි.

වසර 22ක් ගැම්බියාව පාලනයකළ යාය ජමෙහ් රටින් පිටව යද්දී සුඛෝපභෝගී මෝටර් රථ සහ තවත් භාණ්ඩ තොගයක් කැනේඩියානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකට පටවා ඇති බව වාර්තා වෙයි.

ගැම්බියාවේ හිටපු ජනාධිපතිවරයා මේ පිළිබඳව මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර මෙම වාර්තාව බීබීසීය විසින් ස්වාධීනව තහවුරු කරනු ලැබ නැත.

Image copyright Reuters
Image caption ජනාධිපති ධුරයට අලුතින් තේරී පත්වුණු ඇඩමා බැරෝ තවමත් අසල්වැසි සෙනෙගාල් රාජ්‍යයේ

ජනාධිපතිවරණ ප්‍රතිඵල පිළිගත නොහැකි බව පවසමින් හිටපු ජනාධිපතිවරයා බලයෙන් ඉවත්වීම ප්‍රතික්‍ෂේප කළ නමුත් කලාපීය නායකයන්ගේ මැදිහත්වීම මත යාය ජමෙහ් රටින් පිටවීමට එකඟ විය.

ඒ අනුව ඔහු පසුගිය සෙනසුරාදා (ජන. 21) රටින් පිටව ගියේය.

ජනාධිපති ධුරයට අලුතින් තේරී පත්වුණු ඇඩමා බැරෝ තවමත් අසල්වැසි සෙනෙගාල් රාජ්‍යයේ සිටින අතර ඔහු ගැම්බියාවට පැමිණෙන දිනයක් තවමත් ප්‍රකාශයට පත්වී නැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර