"ට්‍රම්ප්ගේ තාප්පෙට අපි සල්ලි දෙන්නේ නැහැ"

Image copyright Reuters

ඇමරිකාව සහ මෙක්සිකෝව අතර දේශසීමාව හරහා තාප්පයක් බැඳීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දුන් නියෝගය, මෙක්සිකෝවේ ජනාධිපතිවරයා හෙළාදකියි.

යෝජිත තාප්පය වෙනුවෙන් මෙක්සිකෝව මුදල් වැය කරනු ඇති බවට ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශකර ඇති නමුත් එය එසේ සිදු නොවනු ඇති බවද ඔහු අවධාරණය කළේය.

මෙක්සිකෝවේ ජනාධිපති එන්රික් පේනා නියෙටෝ තවදුරටත් කියා සිටියේ සීමා බාධක පිළිබඳව විශ්වාසයක් මෙක්සිකෝව සතුව නොමැති බවය.

තාප්පයට කෝපය

එක්සත් ජනපදය තුළ සිටින සංක්‍රමණිකයන්ගේ හිමිකම් ආරක්ෂා කිරීම සඳහා තම රජයට කළ හැකි සෑම දෙයක්ම කරන බවත් මෙක්සිකෝවේ ජනාධිපතිවරයා පැවසීය.

මේ අතර, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙක්සිකෝවේ ජනාධිපති එන්රික් පේනා නියෙටා අතර ලබන සතියේ වොෂින්ටන් නුවරදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙන අතර, එම සාකච්ඡාව අවලංගු කරන ලෙස මෙක්සිකෝවේ ජනාධිපතිවරයාට බලපෑම් එල්ල වෙමින් තිබේ.

මෙක්සිකෝ දේශසීමාව හරහා තාප්පයක් ඉදිකරන බවට ට්‍රම්ප් ජනාධිපතිවරයා නිවේදනය කිරීමත් සමග මෙක්සිකෝ ජනතාව කෝපයට පත්ව සිටිති.