'සිරියානු සරණාගතයන් ඇමරිකාවට ඇතුල්වීම තහනම්'

Image copyright AFP/getty
Image caption පෙන්ටගනයේදී ඔහු මෙම නියෝගයට අත්සන් තැබුවේ ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා ලෙස ජේම්ස් මැටිස් දිවුරුම්දීමෙන් අනතුරුවය

ජනාධිපති ට්‍රම්ප් විසින් සිරියානු සරණාගතයන් ඇමරිකාවට ඇතුල්වීම නැවත දැනුම්දෙන තුරු තහනමට ලක් කරනු ලැබ තිබේ.

එසේම ඉරානය, ඉරාකය යේමනය සහ ලිබියාව ඇතුළු රටවල් හයක වැසියන්ට ඇමරිකාවට ඇතුල්වීම සඳහා වීසා ලබා දීම මාස තුනකට අත්හිටුවා ඇත.

'අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදීන් ඇමරිකාවෙන් අතුගා දැමීම' සඳහා මෙම පියවර ගත්බව ජනාධිපති ට්‍රම්ප් පැවසීය.

එසේම ජනාධිපති ට්‍රම්ප්ගේ පුළුල් විධායක නියෝගය අනුව සියලුම ආකාරයේ සරණාගතයන්ට අවසරදීම මාස හතරකට නවතා දමා ඇත.

පෙන්ටගනයේදී ඔහු මෙම නියෝගයට අත්සන් තැබුවේ ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා ලෙස ජේම්ස් මැටිස් දිවුරුම්දීමෙන් අනතුරුවය.

ඒ සඳහා පැවති උත්සවයේදී ජනාධිපතිවරයා පැවසුවේ ඔහුට අවශ්‍යවන්නේ තම 'රටට සහ ජනතාවට දැඩි ලෙස ආදරය කරන අය පමණක් එහි ඇතුළුවෙනවා දැකීම' බවය.

ජනාධිපති ට්‍රම්ප් විසින් අත්සන් කරනු ලැබූ නියෝගය ඉන් පැය කිහිපයකට පසු එළිදක්වා තිබුණ අතර පහත පළවන්නේ එහි සඳහන් ව ඇති කරුණු වලින් සමහරකි.

  • ඇමරිකාවට සරණාගතයන් ඇතුළුකරගැනීමේ වැඩසටහන දින 120 කට නවතා දැමීම.
  • 'පැහැදිළි වෙනසක්' ඇතිකරන තුරු සිරියානු සරණාගතයන් සඳහා තහනමක් පැනවීම.
  • රාජ්‍යතාන්ත්‍රික වීසා බලපත් හැරෙන්නට ඉරාකය, සිරියාව, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවල් වලින් අයැදුම් කරන ඕනෑම අයෙකු සඳහා බලපාන පරිදි දින 90 ක වීසා තහනමක් පැනවීම.
  • යමෙකු තමා ජීවත්වන රටේ සුළු ආගමකට අයත්වුවෙක් නම් පමණක් අදහන ආගම හේතුවෙන් පීඩාවට පත් සරණාගතයන්ගේ අයදුම්පත් වලට ප්‍රමුඛතාවය දීම.
  • 2017 වසර සඳහා පනස්දහසක සරණාගතයන් සංඛ්‍යාවක් පමණක් ඇතුළුකර ගැනීම.

එසේවුවද, මානවහිමිකම් පිලිබඳ හඬ නගන කණ්ඩායම් ජනාධිපතිවරයාගේ මෙම පියවර විවේචනයට ලක්කොට ඇත්තේ ඇමරිකාවේ සිටින සිරියානු සරණාගතයන් සහ ත්‍රස්තවාදය අතර කිසිදු සබඳතාවක් නොමැති බව සඳහන් කරමිනි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර