තිස්එක් දෙනෙකු සමග බෝට්ටුවක් අතුරුදහන්

Image caption 'කෝටා කිනාබාලු' නගරයෙන් පිටත් වූ බෝට්ටුව ප්‍රසිද්ධ සංචාරක දූපතක් වන 'පුලාවු මෙන්ගාලුම්' බලා ගමන් කරමින් සිටියදී අතුරුදහන් වී ඇත.

සංචාරකයන් තිස්එක් දෙනෙකු රැගත් මගී බෝට්ටුවක් මැලේසියානු මුහුදු තීරයේදී අතුරුදහන් වී ඇති බව එරට වෙරළාරක්ෂක බලධාරීහු පවසති.

සෙනසුරාදා (ජන. 28) නැගෙනහිර මැලේසියාවේ 'සභා' ප්‍රාන්ත තොටුපොළෙන් පිටත් වීමෙන් අනතුරුව මගී බෝට්ටුව සමග සම්බන්ධතා ඇණහිටි බව ඔවුහු පවසති.

බෝට්ටුවේ ගමන්ගත් මගීන් අතරින් විසි අට දෙනෙකු චීන ජාතිකයෝ වෙති.

නැවියන් තිදෙනෙකු

අතුරුදහන් වූ බෝට්ටුව සොයා දියත් කළ මෙහෙයුම් අයහපත් කාලගුණය හේතුවෙන් අඩාළ වී ඇති බව මැලේසියානු වෙරළාරක්ෂක කාර්යාංශය නිවේදනය කොට ඇත.

නාවුක වර්ග සැතපුම් හාරසීයක් ආවරණය වන පරිදි සිදු කෙරෙන සෝදිසි මෙහෙයුම් කෙරෙහි විශ්වාසය තබන ලෙස මගීන්ගේ ඥාතීන්ගෙන් මැලේසියානු රජය ඉල්ලීමක් කර තිබේ.

බෝට්ටුවේ ගමන්ගත් මගීන් තිස් එක් දෙනාට අමතරව යාත්‍රාව අනතුරට ලක්වන විට කාර්ය මණ්ඩලයේ නැවියන් තිදෙනෙකු සේවයේ යෙදී සිටි බව වාර්තා වෙයි.