මේ රටවල් හතට තහනමක් ඇයි?

Image caption 'වීසා නොමැතිව' ඇමරිකාවේ සංචාරය කිරීමට අවසර ඇති රටක පුර වැසියෙකු වුවද ඉහතකී රටවල සංචාරය කර ඇත්නම් ඔවුනට ඇමරිකාවට ඇතුල්වීම සඳහා වීසා අයැදුම් කිරීමට බල කෙරේ

බීබීසීයේ ජැක් ගුඩ්මෑන් ගේ වාර්තාවක් ඇසුරිණි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය, ඉරාකය, ලිබියාව, සෝමාලියාව, සුඩානය, සිරියාව සහ යේමනය යන රටවල් හතට අයත් පුරවැසියන් ඇමරිකාවට ඇතුල්වීම දින අනූවකට තහනම් කරමින් නියෝගයක් නිකුත් කරනු ලැබීම ඇමරිකානු දේශපාලනය තුළ මහත් කැලඹීමකට හේතුවී තිබේ.

මෙම තහනම සරණාගතයන් ඇමරිකාවට ඇතුල්වීම නැවැත්වීම ඇතුළු පුළුල් ආගමන පාලන වැඩපිළිවෙලක කොටසකි.

ජනාධිපති ට්‍රම්ප්ට මේ රටවල් ලැයිස්තුව නම්කිරීම සඳහා හිටපු ජනාධිපති බරක් ඔබාමාගේ පාලන කාලයේ සිට පැවති ඇතැම් සීමාකිරීම් උපකාරී වී ඇති බවක් පෙනී යයි.

'අවදානම් රටවල්'

ජනාධිපති ට්‍රම්ප්ගේ වීසා තහනම් ලැයිස්තුවට අයත් රටවල් හත 2015 වසරේ රිපබ්ලිකන් පක්‍ෂයේ මෙහෙයවීමෙන් පැවති වීසා බලපත් නිකුත්කිරීම පිළිබඳ වූ සමුළුවකදී සම්මත කරගත් නීතියකට අනුව 'අවදානම් රටවල්' ලෙස නම්කෙරුණු ඒවා වේ.

ඒ අනුව 'වීසා නොසලකා හැරීමේ' වැඩසටහනක් මගින් රටවල් 38 කට අයත් වැසියනට දින අනූවක කාලයක් සඳහා වීසා බලපත්‍රයකින් තොරව ඇමරිකාවට ඇතුල්වීමට හැකියාව ලබා දී තිබුණි.

ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය එම වැඩසටහනට අනුව වීසා නිදහස ලැබූ රටවල් අතරට අයත්වේ.

එම රටවල වැසියන් ඇමරිකාවේ සංචාරය කරන්නෙ නම් ESTA (Electronic System for Travel Authorization) නමින් යුතු අන්තර්ජාලය ඔස්සේ අයැදුම් කරන ක්‍රමවේදයක් ඔස්සේ අවසර ලබාගත යුතුවේ.

රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික්

2015 වසරේ දෙසැම්බර් මාසයේ පැවති එම සමුළුවේදී රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් යන දෙපාර්ශවයටම අයත් සෙනෙට් සභිකයන් එක්ව සම්මත කරගත් නීතියක් පසුව ධවල මන්දිරය විසින් අනුමත කොට අත්සන් තබනු ලැබිණි.

එ අනුව 2011 වසරේ මාර්තු මස සිට 2015 දක්වා තෝරාගත් රටවල් කිහිපයක සංචාරය කර තිබූ විදේශීය රටවල වැසියන්ට 'ඇමරිකානු නිදහස් වීසා අවස්ථාව' අහිමි කිරීමට කටයුතු කර තිබුණි.

එයට හේතුව වී තිබුණේ එම රටවල ත්‍රස්තවාදී සංවිධාන ක්‍රියාත්මක වීම හෝ 'ත්‍රස්තවාදීන්ට' රිසිසේ කටයුතු කළ හැකි නිදහස් පරිසරයක් තිබීමය.

2016 වසරේ පෙබරවාරි මාසයේ දී ලිබියාව, සෝමාලියාව සහ යේමනයද එම 'තෝරාගත් රටවල් ලැයිස්තුවට' ඇතුළත් වූ අතර ජනාධිපති ට්‍රම්ප්ගේ 'වීසා තහනමට' ගොදුරු වූයේ එම රටවල් හතය.

පනවා ඇති සීමාවන්ට අනුව 'වීසා නොමැතිව' ඇමරිකාවේ සංචාරය කිරීමට අවසර ඇති රටක පුර වැසියෙකු වුවද ඉහතකී රටවල සංචාරය කර ඇත්නම් ඔවුනට ඇමරිකාවට ඇතුල්වීම සඳහා වීසා අයැදුම් කිරීමට බල කෙරේ.

පැරිස් නුවර ත්‍රස්ත ප්‍රහාරය

ඔබාමා පාලනය 'වීසා අත්හැරදමීමේ' වැඩසටහනට සංශෝධන එක්කර 'Terrorist Travel Prevention Act' නමින් නව නීති කෙටුම්පත් සකස්කිරීමට කටයුතු කළේ 2015 වසරේ පැරිස් නුවර ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවය.

එහෙත් එය අදාළ රටවල් හතෙන් එන සියලුම සංචාරකයන්ගේ වීසා තහනම් කෙරෙන ට්‍රම්ප් ගේ පුළුල් නියෝගයට වඩා වෙනස්වූ එකකි. ඔබාමා පාලනය යටතේ වීසා තහනමට ලක්වුයේ 'වීසා නිදහස' ලැබූ රටවලට අයත්ව සිටිමින් ඉහත කී රටවල් වල සංචාරය කර තිබූ අයට පමණි.

ජනවාරි 29 වැනිදා ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශයක් නිකුත්කරමින් පවසා තිබුණේ තමාගේ ප්‍රතිපත්තියද 'ඉරාකයෙන් එන සරණාගතයන්ට වීසා දීම තහනම් කළ' ඔබාමාගේ නියෝගයට සමාන වන බවය.

ඔබාමා ගේ එම නියෝගයෙන් පසු ඉරාකයෙන් පැමිණෙන සරණාගතයන් සංඛ්‍යාව 18,016 සිට 9,388 දක්වා අඩුවිය. එහෙත් එම සංඛ්‍යාව ඊළඟ වසරේ දී 12,163 දක්වා ඉහළ ගියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර