වංචා දූෂණ වලින් රාජ්‍ය නිලධාරීන් ගලවන නියෝගයකට විරෝධය
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දූෂිත නිලධාරීන්ට රැකවරණ එපා - රුමේනියානු ජනතාව වීදියේ

රුමේනියාවේ කලින් පැවති කොමියුනිස්ට් පාලනය 1989 වසරේ බිඳ වැටීමෙන් පසු එරට වාර්තා වූ විශාලතම මහජන උද්ඝෝෂණ ව්‍යාපාරය බුකරෙස්ට් අගනුවර දී අද (02) දියත් කෙරුණි.

එම මහජන උද්ඝෝෂණ ආරම්භ කෙරුණේ, ඇතැම් දූෂණ ක්‍රියා අපරාධ නීතියට යටත් නොවන බව පැවසෙන විවාදයට ලක්වෙමින් ඇති නියෝගයකට විරෝධය දක්වමින් රුමේනියාවේ ව්‍යාපාරික කටයුතු භාර ඇමති ෆ්ලොරින් ජියානු (Florin Jianu) සිය පදවියෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි.

ෆ්ලොරින් ජියානු ඇමතිවරයා කියා සිටියේ, ආණ්ඩුව බලයට පත්කිරීමට උරදුන් ජනතාව නොසලකා හරිමින් රජය ක්‍රියා කිරීම නිසා තමන්ට තවදුරටත් ඇමතිවරයෙකු ලෙස කටයුතු කිරීමට නොහැකි බවය.

Image copyright AFP

ජාත්‍යන්තරයෙන් අනතුරු ඇඟවීම්

ආණ්ඩුව විසින් නිකුත් කරනු ලැබූ ඉහත කී නව නියෝගයට විරෝධය දක්වමින් දෙලක්ෂ පනස්දහසකට අධික ජනකායක් ඊයේ (පෙබ. 01) වීදි බැස විරෝධතා ව්‍යාපාරයන්හි නිරත වූහ.

එවැනි නියෝගයක් නිකුත් කිරීම මගින් ජාත්‍යන්තරය තුළ ඇති පිළිගැනීම පමණක් නොව යුරෝපා සංගමය සහ 'නේටෝ' සංවිධානය සමග පවතින සම්බන්ධතා පවා බිඳ වැටීමේ අවදානමකට රුමේනියාව මුහුණ දී ඇති බවට ජර්මනිය, ප්‍රංශය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් හයක් අනතුරු අඟවා ඇත.

අලුතින් හඳුන්වා දී ඇති නියෝගයට අනුව, රජයේ නිලධාරියෙකු දූෂණ චෝදනා මත වරදකරුවෙකු කෙරුණ අවස්ථාවක එම දූෂණ ක්‍රියාව මගින් සිදු වී ඇති පාඩුව ඇමරිකානු ඩොලර් හතළිස් අටදහස ඉක්මවන්නේ නැත්නම් චුදිත නිලධාරීන් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණයට බලය පැවරෙයි.