"සාම කතා ඉවරයි"

Image copyright EPA

කොමියුනිස්ට්වාදී කැරලිකරුවන් සමග මේ මස අවසානයේ පැවැත්වීමට නියමිත අවසන් වටයේ සාම සාකච්ඡා අත්හිටුවන බව පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ දුතාර්තේ පවසයි.

නව ජනතා හමුදාව (NPA) සමග නෝර්වේ හි පැවැත්වෙන සාම සාකච්ඡා අතරමග නවතා දමා පිලිපීන රාජ්‍ය දූත කණ්ඩායමට සිය රට බලා පැමිණෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

මේ වන විට බන්ධනාගාරයේ පසුවන කොමියුනිස්ට්වාදී කැරලිකරුවන් හාරසිය දෙනකු නිදහස් කරන ලෙස නව ජනතා හමුදාව කොට ඇති ඉල්ලීම ඉතා අසාධාරණ බව ජනාධිපති දුතාර්තේ පවසයි.

ජනාධිපතිවරයාගේ එම තීරණයත් සමග කැරලිකරුවන් සහ රජයේ හමුදා අතර මාස හයක් මුළුල්ලේ පවතී සටන් විරාමය පළුදු වී ඇති අතර නැවතත් ගැටුම් ඇවිලෙමින් පවතියි.

Image copyright EPA
Image caption පිලිපීනයේ කොමියුනිස්ට් පක්ෂය මින් වසර පනහකට පෙර රටේ පාලනය ලබා ගැනීම වෙනුවෙන් අවි අතට ගැනීමෙන් පසු මේ දක්වා රජය සහ කොමියුනිස්ට්වාදී කැරලිකරුවන් අතර ගැටුම් වලින් මිය ගිය ප්‍රමාණය තිස්දහස ඉක්මවයි.

"මම නැවත සාම සාකච්ඡා පටන් ගන්නේ නැහැ. මම කිව්වා පිලිපීන රාජ්‍ය දූත කණ්ඩායමට ඔවුන්ගේ කුඩාරම් අකුලාගෙන නැවත මව්බිමට එන්න කියලා." ජනාධිපතිවරයා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ සාම සාකච්ඡා වලට සහභාගී වීමට ඉඩ සලසමින් තාවකාලිකව හිර භාරයෙන් නිදහස් කළ කොමියුනිස්ට්වාදී කැරලි නායකයන් නැවත බන්ධනාගාරගත කිරීමට පියවර ගන්නා බවය.

පිලිපීනයේ කොමියුනිස්ට් පක්ෂය මින් වසර පනහකට පෙර රටේ පාලනය ලබා ගැනීම සඳහා අවි අතට ගැනීමෙන් පසු මේ දක්වා රජය සහ කොමියුනිස්ට්වාදී කැරලිකරුවන් අතර ගැටුම් වලින් මිය ගිය ප්‍රමාණය තිස්දහස ඉක්මවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර