‘අපි එපානම් අපිටත් එපා’

Image copyright Alma
Image caption ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙක්සිකානු ජාතිකයන් 'ස්ත්‍රදූෂකයන් සහ අපරාධකරුවන්' ලෙස හැඳින්වනු ලැබීමෙන් පිළිකුල් සහගත හැඟීමක් ඇතිවූ බවයි අල්මා පවසන්නේ

අල්මා සයිලර් කොන්ට්‍රිරස් නම් 59 හැවිරිදි මෙක්සිකානු කාන්තාව ජීවත්වන්නේ ඇමරිකානු දේශසීමාවේ සිට පැය දෙකකුත් මිනිත්තු තිහක පමණ දුරින් පිහිටි හර්මොසිල්ලෝ නගරයේය.

දිගු කාලයක් තිස්සේ ඇය සතුව ඇමරිකානු සංචාරක වීසා බලපත්‍රයක් තිබුණේ මෙක්සිකානු ජාතිකයෙක් ලෙස අසල්වැසි ඇමරිකාවේ සංචාරය කිරීම සඳහා එය අනිවාර්ය වූ බැවිණි.

ඇය බොහෝ සති අන්තවලදී ඇමරිකාවේ ඇරිසෝනා, ලාස් වේගාස් සහ නිව්යෝර්ක් යන ප්‍රදේශවල සංචාරය කළේ එහි පදිංචිව සිටින තම පවුලේ සාමාජිකයන් මුණගැසීම සහ ඇඳුම් ආයිත්තම් මිලදීගැනීම සඳහාය.

එසේවුවද, පසුගිය සඳුදා තම නගරයේ පිහිටි ඇමරිකානු කොන්සල් කාර්යාලයට ගිය ඇය තම වීසා බලපත්‍රය ආපසු භාරදුන්නාය.

"මම ආවේ තරමක් විශේෂ දේකට. මට අවශ්‍යයි මගේ ඇමරිකානු වීසා බලපත්‍රය ආපසු දෙන්න," යනුවෙන් ඇය බලධාරීන් හමුවේ පැවසුවාය.

ඇය තම වීසා බලපත්‍රය ආපසු දීමට තීරණය කළේ පසුගිය වසරේ ඇමරිකානු ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු පැවති සමයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙක්සිකානු ජාතිකයන් 'ස්ත්‍රී දූෂකයන් සහ අපරාධකරුවන්' ලෙස හඳුන්වනු ලැබීමෙන් පසුවය.

"මම මගේ මහත්තයට කිව්ව: ට්‍රම්ප් එහෙම කියන එක වැරදියි, බැරිවෙලා හරි ඔහු ජනාධිපති වුනොත් මම මගේ වීසා එක ආපසු දෙනවා කියල," යනුවෙන් ඇය තම තීරණයට හේතුව පැහැදිළි කළාය.

තීරණය

සඳුදා කොන්සල් කාර්යාලයට පැමිණි අල්මා තම තීරණයට හේතු පැහැදිලි කරන ලිපියක්ද සමග වීසා බලපත්‍රය ආපසු භාර දුන්නාය.

"ඔබගේ නව ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් මගේ රට වන මෙක්සිකෝව සහ එහි ජනතාව පිළිබඳ දක්වන ආකල්පය ගැන පිළිකුල් සහගත හැඟීමක් ඇතිවූ බැවින් මෙම වීසා බලපත්‍රය ආපසු ලබාදෙමි. මේ මගින් ඔබේ ජනාධිපතිවරයාට මගේ විරෝධතාවය සහ මගේ ආදරණීය රටට සහ එහි වැසියනට සහයෝගය පළ කරන බව දන්වනු කැමැත්තෙමි," යනුවෙන් ඇගේ ලිපියේ සඳහන් කර තිබුණි.

එසේම ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපති ධූරයෙන් ඉවත්ව ගිය දිනක අලුත් වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කරන බවද ඇය සඳහන් කළාය.

"එහෙම දවසක වීසා ලැබුණොත් හොඳයි. හැබැයි නොලැබුණත් ඒකට කමක් නැහැ. මම තීරණය කරල ඉවරයි," යනුවෙන් අල්මා පැවසුවාය.

අනුකරණය

ඇගේ එම ලිපිය ඥාතියකු විසින් ෆේස්බුක් සමාජ ජාලය තුළ පළ කිරීමත් සමග දැන් ඇය මෙක්සිකෝව තුළ ප්‍රසිද්ධියට පත්ව සිටින්නීය.

අල්මාගේ මිතුරු මිතුරියන් පවසන්නේ ඇය කළ ක්‍රියාව සැමදෙනාගේ ප්‍රශංසාවට බඳුන්වී ඇති බවය.

එහෙත් තම ක්‍රියාව මිතුරු මිතුරියන් පවසන ආකාරයේ පැසසියයුතු ක්‍රියාවක් නොවන බව පවසන අල්මා එය අනුකරණය නොකළ යුතු බවද පවසයි.

"හැම කෙනෙක්ම තමන්ගෙ හෘදසාක්‍ෂියට අනුව කටයුතු කරන්න ඕන. ඒ නිසා කිසිකෙනෙකුට මාව අනුගමනය කරන්න කියල මම කියන්නෙ නැහැ. අඩුතරමින් මගේ දරුවන්වත් එහෙම කළයුතු නැහැ," යනුවෙන් ඇය පැවසුවාය.

ඇමෙරිකානු කොන්සල් කාර්යාලයේ බලධාරීහු මේ පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර