"පැටවෙක් අල්ලන්න චිම්පන්සි දහදෙනෙක් මරා දානවා"

orang-utan Image copyright Getty Images
Image caption සංඛ්‍යාලේඛනවලට අනුව 2005 වසරේ සිට රටවල් විසි තුනකින් ඔරන්ඔටන් 1,800 දෙනෙකු, චිම්පන්සි සහ ගෝරිල්ලා සතුන් බලධාරීන් භාරයට ගෙන තිබේ

නීති විරෝධී වානර සත්ව ජාවාරම පිළිබඳ තොරතුරු, සත්‍ය තත්වයට වඩා අඩු වාර්තාවීමක් පෙන්වන බව නවතම දත්ත පෙන්වා දෙයි.

සංඛ්‍යාලේඛනවලට අනුව 2005 වසරේ සිට රටවල් විසි තුනකින් ඔරන්ඔටන් 1,800 දෙනෙකු, චිම්පන්සි සහ ගෝරිල්ලා සතුන් බලධාරීන් භාරයට ගෙන තිබේ.

එවැනි ජාවාරම්වලින් සියයට අනූවක්ම රටවල් අභ්‍යන්තරයේ සිදු වී ඇති අතර ඒ හා සම්බන්ධ තොරතුරු ප්‍රධාන දත්ත වාර්තාවලට එක් වී නොමැත.

ප්‍රධාන දත්ත වාර්තාවලට එක් වී ඇත්තේ ජාත්‍යන්තර වශයෙන් සිදු කරන ලද වැටලීම් පිළිබඳ කරුණු පමණකි.

වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින සතුන් වෙළඳාම හා සම්බන්ධ ප්‍රඥප්තියට අත්සන් තබා ඇති රටවල සහභාගීත්වයෙන් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර පැවතෙන සමුළුවේදී වානර සත්ව ජාවාරමට අදාළ නවතම දත්ත එළිදක්වා තිබේ.

වානර සත්ව විශේෂ නීති විරෝධී ලෙස වෙළෙඳාම් කිරීම හා සම්බන්ධ සම්පූර්ණ දත්ත ප්‍රකාශයට පත් වන්නේ ඉතා විරල වශයෙනි.

වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින සතුන් වෙළෙඳාම හා සම්බන්ධ ප්‍රඥප්තිය සතුව ඇත්තේ ජාත්‍යන්තර වශයෙන් සිදු කරන ලද වැටලීම් පිළිබඳ කරුණු පමණකි.

එම දත්ත මගින් වානර සත්ව ජාවාරම පිළිබඳ නොමග යවන සුළු අදහසක් ලබා දෙන බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ දීර්ඝ කාලීන විශ්වාසය වී තිබේ.

වානර සත්ව ජාවාරම පිළිබඳ ජොහැන්නස්බර්ග් නුවරදී එළිදැක්වුණු නවතම දත්ත මගින් එම ජාවාරම සම්බන්ධයෙන් වඩාත් සවිස්තරාත්මක චිත්‍රයක් ලබා දෙයි.

චිම්පන්සි ජාවාරම

Image caption "සාමාන්‍යයෙන් එක් කුඩා චිපන්සියෙකු පණපිටින් අල්ල ගන්න වැඩිහිටි චිම්පන්සි පහත් දහයත් අතර සංඛ්‍යාවක් මරා දාන්න ඕනි"

"ඒක ඇත්තෙන්ම විශාල සංඛ්‍යාවක්. අපි හිතුවට වඩා වැඩි සංඛ්‍යාවක්." ග්‍රේට් ඒප් සර්වයිවල් පාට්නර්ශිප් (Great Ape Survival Partnership) සංවිධානයේ ඩග් ක්‍රෙස් කියා සිටියේය.

"සාමාන්‍ය වශයෙන් සතියකට,ජාවාරම් කෙරෙමින් සිටි වානර සතුන් අල්ලා ගැනීමේ සිදුවීම් දෙකක් ලොව පුරා වාර්තා වී තිබෙනවා. එය ඉතා අඩු අගයක් වශයෙන් පෙනෙන්න තිබුණත් සාමාන්‍යයෙන් එක් කුඩා චිපන්සියෙකු පණපිටින් අල්ල ගන්න වැඩිහිටි චිම්පන්සි පහත් දහයත් අතර සංඛ්‍යාවක් මරා දාන්න ඕනි" යනුවෙන් ඔහු පැවසීය.

වානර විශේෂ අතුරින් ඔරන්ඔටන් වැඩි වශයෙන් සත්ව ජාවාරමට ගොදුරුවන අතර බලධාරීන් ගේ භාරයට ගනු ලබන එවැනි වානර විශේෂවලින් සියයට හැටහතක් ඔරන්ඔටන් සතුන්ය.

බලධාරීන් භාරයට ගනු ලබන වානර විශේෂයට අයත් සතුන්ගෙන් සියයට විසිපහක් චින්පන්සීන්වන අතර ඉතාමත් අඩු වයසේ පසුවන චිම්පන්සීන් ගමන් මලු තුළ බහා ගුවන් යානා ඔස්සේ ජාවාරම් කෙරෙන බව ඩග් ක්‍රෙස් වැඩිදුරටත් පැවසීය.

එලෙස ජාවාරම් කෙරෙන ඔරන්ඔටන් සතුන් බලධාරීන් භාරයට ගනු ලැබෙන රටවල් ලැයිස්තුවේ ඉන්දුනීසියාව සහ මැලේසියාව ඉහළින්ම සිටින අතර සියේරා ලියොන්, ගිනි රාජ්‍ය සහ කැමරූන් ඇතුළු බටහිර අප්‍රිකානු රටවල් ජාවාරමට සම්බන්ධ මධ්‍යස්ථාන ලෙස මතුවෙමින් පවතී.

ආසියාව තුළ චිම්පන්සියෙකු ඇමරිකානු ඩොලර් විසි පන්දහසත් තිස් දහසත් අතර මිලකට විකිණෙන අතර ගෝරිල්ලෙකු ඇමරිකානු ඩොලර් හතළිස් පන්දහසක් දක්වා මුදලකට අලෙවි වේ.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්